ලංකාව ඉන්දියාවේ 26 වැනි ප්‍රාන්තය වෙන්න දෙන්නේ නෑ

ලංකාව ඉන්දියාවේ 26 වැනි ප්‍රාන්තය වෙන්න දෙන්නේ නෑ

ශ්‍රී ලංකාවත් – ඉන්දියාවත් අතර පාළමක් හැදීමෙන් ඉන්දියානු ශ්‍රමිකයින්ට අඩු පඩියට වුවද මෙරට සේවය සඳහා පැමිණීමට අවස්ථාව ලැබෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියයි.

රුපියල් කෝටි 74,000ක් වැය කරමින් ඉන්දියාව ශ්‍රී ලංකාව දක්වා පාළමක් තැනීමට උත්සාහ කරන්නේ “මීයක් කඩන්නේ අත ලෙවකන්නද” යන කියමනට අනූව නිකමට නොව එරට විරැකියාවට විසඳුමක් ලෙස යැයි ඒ මහතා පවසයි.

මෙය “සීපා” ගිවිසුම ක්‍රියාත්මක කිරීමක් බවත්, පාළම තැනීමෙන් පසු පෝළීමේ එන ඉන්දියානුවන්ට වීසා ලබාදීම ද සිදුවනු ඇති බවත්, හෙතෙම කියයි.

ලාංකිකයින් රැකියා සොයා දියුණු රටවලට යාමට නොහැකිව හොර පාරෙන් පවා යද්දී වීසා නැතිව යළි හරවා එවන බවද, මේ නිසා ඉන්දියානුවන්ට මෙරටට පැමිණීමත් සමග වීසා ලබාදීම කෙසේ අනුමත කළහැකිද? ලෙස මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

මෙරට ශ්‍රමිකයෙක් අද කුලී වැඩක් කර රුපියල් 1000ට වඩා මුදලක් ගනිද්දී ඉන්දියානුවෙක්ගෙන් අදාළ වැඩකොටස රුපියල් 250ට පමණ කර ගැනීමට මෙම ගිවිසුම නිසා හැකිවන බව හෙතෙම කියයි.

ඉන්දියාව අතීතයේ සිටම කළේ තම රටේ විරැකියාවට විසඳුමක් ලෙස ශ්‍රමිකයින් රට යැවීම බවත්, මෙරට කඳුකරයේ වෙසෙන වතු ජනතාව ඊට‍ හොඳම උදාහරණය බවත්, පැවසූ මන්ත්‍රීවරයා ඉන්දියාවේ මෙම පිළිවෙත නිසා දේශපාලන හා සමාජ ප්‍රශ්න ගණනාවක් හටගෙන ඇති බවද පෙන්වාදෙයි.

මේ නිසා ශ්‍රී ලංකාව ඉන්දියාවේ 26 වැනි ප්‍රාන්තය වීමට ඉඩනොදෙන බවද කොළඹදී අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

මානව හිමිකම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා යෝජනා කර ඇති විශේෂ මිශ්‍ර අධිකරණය මගින් සුද්දන්ට මෙරට නඩු ඇසීමට අයිතියක් නැතැයිද ඒ මහතා එහිදී අවධාරණය කළේය.

එසේ කිරීමට හැකිව තිබුණේ යටත් විජිතයක් ලෙස පැවැතියදී බවත්, ශ්‍රී ලංකාව දැන් ස්වාධීන රාජ්‍යයක් බවත්, හෙතෙම පෙන්වාදුන්නේය.

රණවිරුවන් රැකගැනීමට වගකීමෙන් නිදහස්වීමේ පනත ගෙනඑන බවද හෙතෙම පැවසුවේය.

උපුටා ගැනීම අද දෙරණ

Share this: