රූපලාවණ්‍යාගාර සහ බාබර් සාප්පු විවෘත කරන්නේ නම් මේ උපදෙස් පිළිපදින්න

රූපලාවණ්‍යාගාර සහ බාබර් සාප්පු විවෘත කරන්නේ නම් මේ උපදෙස් පිළිපදින්න

බාබර් සාප්පු සහ රූපලාවණ්‍යාගාර යළි විවෘත කිරීම සඳහා වූ සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ අත්සනින් ඊයේ (6) නිකුත් කෙරුණා.

එම නිර්දේශවලට අනුව රූපලාවණ්‍යාගාරවලදී කොණ්ඩා කැපීම, කොණ්ඩ කොට කිරීම, කොණ්ඩ ඩයි කිරීම, අත් සහ පාවල නියපොතු සාත්තුව, අත් සහ පාවල රෝම ඉවත් කිරීම යන සේවා පමණක් ලබාදිය යුතු වනවා.

බාබර් සාප්පුවල කොණ්ඩ කැපීම පමණක් සිදුකළ යුතුය. රැවුල සහ උඩු රැවුල කැපීම සම්පූර්ණයෙන් තහනම් වනවා.

සේවය ලබා දෙන්නා සහ සේවාලාභියා ඇසුරු කරන කාලය ඉතාම අඩුවිය යුතුය. එක් සේවාලාභියකුට සේවය ලබාදීමේදී භාවිත කරන රෙදිපිළි අනෙක් සේවාලාභියාට භාවිත නොකළ යුතුය.

රූපලාවණ්‍යාගාරවලදී සේවය සැපයීමේදී තොල් ස්පර්ශ නොකළ යුතුය. සේවා සපයන්නා එන් 95 වර්ගයේ මුඛ ආවරණයක් පැලඳ සිටිය යුතුය.

සේවා ස්ථානවල සඟරා, පුවත්පත්, දුරස්ථපාලක තැබීම තහනම් වෙයි. සේවා ස්ථානවල දොර විවෘත කිරීම සඳහා වෙනම සේවකයකු යොදා ගත යුතු වෙයි.

සෑම සේවා ස්ථානයකම ආරම්භ කිරීමට පෙර සහ පසුව විෂ බීජහරණය කළ යුතුය. අපද්‍රව්‍ය බෑගයකට එකතු කර විනාශ කළ යුතුය. සේවා ස්ථානයට ඇතුළුවන දොරටුව අසල අත්සෝදා ගැනීමට ජල කරාම ස්ථාපිත කළ යුතුය. සේවා ස්ථානයේ සියලු සේවකයන්ගේ තොරතුරු අයිතිකරු සතු විය යුතුය. ​රෝගාබාධ සහිත සේවකයන් සේවයට යොදා නොගත යුතුය. සේවකයන්ගේ ශරීර උෂ්ණත්වයද දෛනිකව මැන බැලිය යුතුය.

බාබර් සාප්පු සහ රූපලාවණ්‍යාගාර විවෘත කිරීමට පෙර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය. එය පරීක්ෂා කිරීමෙන් පසු නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙර සූදානම සතුටුදායක නම් විවෘත කිරීම සඳහා සහතිකයක් නිකුත් කරනු ලබයි.

Share this: