රුපියල් කෝටි පැන්න මන්ත්‍රී රහීම්ගේ හොර රත්‍රන්

රුපියල් කෝටි පැන්න මන්ත්‍රී රහීම්ගේ හොර රත්‍රන්

මැයි 23 වැනිදා ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සතුව තිබී සොයාගත් නීති විරෝධී භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් මිලියන 78 ඉක්මවන බව ශ්‍රී ලංකා රේගුව අනාවරණය කරයි.

ප්‍රකාශ නොකළ රත්‍රං තොගයක් සහ ජංගම දුරකථන තොගයක් ළඟ තබා ගැනීම හේතුවෙන් මන්ත්‍රීවරයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී (BIA) අත්අඩංගුවට ගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රහීම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පෙරවරු 9.45 ට පමණ ෆ්ලයිඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් යළි දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ ආදායම් කාර්ය සාධක බළකා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් විසින් ඔහුව ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තය ‘ගෝල්ඩ් රූට්’ හිදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී රුපියල් මිලියන 74ක ප්‍රකාශ නොකළ රන් ආභරණ කිලෝග්‍රෑම් 3.39ක් සහ රන් බිස්කට් තොගයක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

ඊට අමතරව රුපියල් මිලියන 4.2 ක් වටිනා ජංගම දුරකථන 91 ක් ද මන්ත්‍රීවරයා ළඟ තිබී සොයා ගෙන ඇත.

පසුව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දෙන ලදී.

පැය පහකට ආසන්න කාලයක් බලධාරීන් විසින් ප්‍රශ්න කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉදිරි පරීක්ෂණ සඳහා ඔරුගොඩවත්තේ පිහිටි ආදායම් කාර්ය සාධක බළකා අධ්‍යක්ෂ කාර්යාලය වෙත රැගෙන එන ලදී.

Share this: