වසර 10 කට පසු පාකිස්තානයේ ටෙස්ට් ක්‍රිකට් යළිත් ආරම්භ කරමින් සංචාරක ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ඉතිහාසගත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය රාවල්පින්ඩි නුවර පින්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වෙයි. ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර වසර 1982දී කරච්චියේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට නායකත්වය දුන් බන්ධුල වර්ණපුර හා ජාවේඩ් මියන්ඩාඩ් ක්‍රිකට් විරුවන් මෙම ඓතිහාසික ටෙස්ට් තරගයේ විශේෂ ආරාධිතයින් ලෙස සහභාගී වෙති.
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව පාකිස්තානයට නැවත පැමිණීමේ විශාල වැදගත්කම පිළිබඳ හා පූර්ණ ශ්‍රී ලංකා පිල සංචාරයට එක්වීම පිළිබඳ පාකිස්තාන රජයේ හා ජනතාවගේ විශාල ප්‍රසාදයක් හිමිව ඇති වට පිටාවක මෙම තරගය පැවැත්වීම තරගයේ උණුසුම වැඩි වීමට හේතුවී තිබේ.
පාකිස්තානය අවසන්වරට සහභාගි වූ ඔස්ට්‍රේලියාව සමග ටෙස්ට් තරග දෙක ඉනිමකින් පරාජය වූ අතර එයට පෙර දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ට් තරගාවලියේ තරග තුන ද පරාජය වී පිට පිට තරග 5ක අමිහිරි අත්දැකීම් ලබා සිටී. ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් ටෙස්ට් තරග පහේදී තරග 3ක් ජයගෙන තරග දෙකක් පරාජය වී ඇත.
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර මෙම ක්‍රීඩාංගණයේ වසර 19කට පෙර එක් ටෙස්ට් තරගයක් පවත්වා ඇති අතර එයින් ශ්‍රී ලංකාව කඩුලු 2ක ජයක් හිමිකර ගත්තේය. එදා සනත් ජයසූරියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල විසින් පරාජයට පත් කළේ සහීඩ් අන්වර් පෙරටු කොටගත් ප්‍රබල කණ්ඩායමකි.
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පාකිස්තානයේදී ටෙස්ට් තරගාවලි 7ක් පවත්වා ඇති අතර එයින් තරගාවලි දෙකක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර 3ක් පාකිස්තානය ජයගෙන තරගාවලි 2ක් විසඳුමකින් තොරව අවසන්ව ඇත. දෙරට අතර මේ දක්වා ටෙස්ට් ඉතිහාසයේ තරග 53ක් පවත්වා එයින් තරග 16 ක් ශ්‍රී ලංකාව හා තරග 19 ක් පාකිස්තානය ජයගෙන තරග 18 ක් විසඳුමකින් තොරව නිමාවිය.
ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකදී අවසන් වරට පාකිස්තානය මුණ ගැසුණේ වසර 2017දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී වන අතර එහිදී ශ්‍රී ලංකාව තරග දෙකෙන්ම ජයගෙන පාකිස්තානය අසරණ තත්ත්වයට පත් කළේය. ශ්‍රී ලංකාව ඉතිහාසයේ සහභාගී වූ මුල්ම දිවා – රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැවැති අතර එම තරගයේ ජයග්‍රහණයට දායක වී ලකුණු 196ක් ලබාගත් දිමුත් කරුණාරත්න අද තරගයේදී ආරම්භක පිතිකරු ලෙස ඕෂද ප්‍රනාන්දු සමග එක්වීමට නියමිතය. එම ඩුබායි තරගයේ නායකයා ලෙස කටයුතු කළ දිනේෂ් චන්දිමාල් මෙම සංචාරයේදී මැද පෙළ පිතිකරුවකු ලෙස ඉකුත් පෙබරවාරියට පසු යළි පිටියට පිවිසෙන අතර නිත්‍ය කඩුලු රකින්නා ලෙස නිරෝෂන් දික්වැල්ල කටයුතු කරයි.
අද තරගයට ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන්නන් තිදෙනකු ක්‍රීඩා කරන අතර ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු හා කසුන් රාජිත යන තිදෙනාට එම වගකීම පැවැරෙයි.
පාකිස්තාන පිලට වසර 10කට පසුව ඉදිරි පෙළ පිතිකරු ෆාවඩ් අලාම් අද තරගයට කැඳවා ඇති අතර ඔහු අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කොට ඇත්තේ වසර 2009දී නවසීලන්තයට එරෙහිව ඩනේඩීන් හීදීය. 34 හැවිරිදි ෆාවඩ් අලාම් පසුගිය මාස කිහිපයකට පෙර පාකිස්තාන අන්තර් සමාජ ක්‍රීඩා සමාජ තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔස්ට්‍රේලියානු සංචාරයේදී අසාර්ථක වූ ඉෆ්තිකාර් අහමඩ් වෙනුවට කැඳවා ඇත. ෆාවඩ් අලාම් නිමාවූ පාකිස්තාන අන්තර් සමාජ ක්‍රීඩා සමාජ තරගාවලියේදී ශතක දෙකක් හා ද්විත්ව ශතකයක් රැස්කර ගත්තේය.
ඔස්ට්‍රේලියානු සංචාරයට එක්ව සිටි 19 හැවිරිදි වේග පන්දු යවන මුහමද් මූෂා ඉවත්කොට උස්මාන් ෂින්වාරී පාකිස්තාන ටෙස්ට් සංචිතයට කැඳවා ඇත. ඔහු පාකිස්තාන අන්තර් සමාජ ක්‍රීඩා සමාජ තරගාවලියේදී තරග 4කදී කඩුලු 11ක් බිඳ හෙලීමට සමත්වීම මෙම හදිසි කැඳවීමට හේතුවී ඇත.
පාකිස්තානයේ හිටපු පුහුණුකරු දැන් තම කණ්ඩායමේ සිටින බැවින් එය විශාල ශක්තියක් බව නායක දිමුත් කරුණාරත්න ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
“මිකී ආතර් කියන්නේ පසුගිය වසර කිහිපයක පාකිස්තානයේ හිටපු පුහුණුකරු. ඔහු පාකිස්තානය පිළිබඳ බොහෝ දේ දන්නවා. අපට පාකිස්තානය ගැන ගොඩක් දේ ඔහු ඉගැන්නුවා. අප පාකිස්තානයට පැමිණ හෝටලයෙන් එළියට ආවේ පුහුණුවීම්වලට විතරයි. සාර්ථක පුහුණු සැසියකින් පසු සියලු ක්‍රීඩකයන් ඉතාමත් උනන්දුවෙන් ඉන්නවා තරගය වෙනුවෙන්.”
“ පාකිස්තානය පිළිබද ලැබුණු මාධ්‍ය වාර්තා අනුව ආරක්ෂාව පිළිබඳ හොඳ දේවල් අහන්න ලැබුණේ නෑ. නමුත් විස්සයි විස්ස සහ එක්දින තරගාවලියෙන් පසුව පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් අපේ සහෝදර ක්‍රීඩකයන් අපිට හොඳ සහතිකයක් ලබාදුන්නා. ඒක දැන් තහවුරු වුණා. ආපු වෙලාවෙ ඉඳන් ඉතාමත් හොඳ ආරක්ෂාවක් ලබාදෙනවා. මේ සංචාරයෙන් පසු හොඳ පණිවිඩයක් ලෝකය හමුවේ ප්‍රකාශ වෙනවා“ ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා පැවැසීය.
රාවල්පින්ඩි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය අවට සෙල්සියස් අංශක 10ත් 15ත් අතර ශීත දේශගුණයක් පැවැත්වෙන හෙයින් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට විශාල අභියෝගයක් වන්නේදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් දිමුත් කරුණාරත්න පැවැසූවේ වෘත්තීය ක්‍රීඩකයන් ශීත දේශගුණයට ඉක්මණින් හුරු වී ක්‍රීඩා කිරීමට මානසික හා කායික ශක්තිය ගොඩනගා ගත යුතු බවය.
තරගය පැවැත්වෙන පින්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අවට පමණක් පන්ජාබ් පළාතේ පොලිස් නිලධාරීන් සහ පාකිස්තාන යුද හමුදා සෙබලුන් ඇතුළු ආරක්ෂක සේනාවට 4,500 කට වැඩි පිරිසක් එක්ව සිටින අතර පළමු දිනයේ ප්‍රවේශපත් 5000ක් අලෙවි වී ඇති බව සංවිධායකයෝ පවසති.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂද ප්‍රනාන්දු, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, හසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත
පාකිස්තාන ටෙස්ට් සංචිතය:
අසාර් අලි (නායක), අබීඩ් අලි, අසාද් ෂෆික්, බාබර් අසාම්, ෆවාඩ් අලාම්, හරිස් සොහෙයිල්, ඉමාම් උල්හක්, ඉම්රාන් ඛාන්, කාෂිෆ් බට්ටි, මොහොමඩ් අබ්බාස්, මොහොමඩ් රිස්වාන් (කඩුලු රකින්නා), නසීම් ෂා, ෂහීන් අෆ්රිඩි, ෂාන් මසූඩ් , යසීර් ෂා, උස්මාන් ෂින්වාරි