රැල්ලත් , සුළඟ වගේද?

රැල්ලත් , සුළඟ වගේද?

“මහින්ද සුළඟ” යන යෙදුම දේශපාලන භාවිතයට එක්වූයේ 2015 පෙබරවාරි 18 වැනිදා නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨය අබියස පැවති රැළියෙනි. ඉන්පසු “මහින්ද සුළඟ” රැළි ගණනාවක් රටේ විවිධ පළාත්වල පැවැත්විණි. “මහින්ද සුළඟ” මහා චණ්ඩමාරුතයක් බවට පත්ව සිරිසේන – වික්‍රමසිංහ පාලනය කැබලි කරන බවටත් එළිඹෙන මහා මැතිවරණයෙන් ජයගෙන මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිත්වයෙන් යළිත් රාජපක්ෂ යුගයක් බිහි කරන බවටත් රාජපක්ෂ ප්‍රචාරකයෝ වේදිකා මත හඬ තැලූහ.

“මහින්ද සුළඟ” නිම වූයේ 2015 මහ මැතිවරණයෙන් එජාපය ජය ගැනීමෙනි.

එදා “මහින්ද සුළඟ” ගැන කතා කළ අය දැන් කියවනුයේ ගෝඨා රැල්ල ගැනය. ගෝඨා රැල්ල සියලු බාධක දැනටත් බිඳහෙලා ඇති බවටත් ජනාධිපතිවරණයේ ජය තීන්දු බවටත් ඔවුහු කියති.

ගෝඨා රැල්ලක් තිබේද?

එය නතර කළ නොහැකිද?

අලුත්ම සංඛ්‍යා දත්තවලට අනුව මෙවර ජනපතිවරණයට ඡන්දය භාවිත කිරීමේ සුදුසුකම ලද මුලු ප්‍රමාණය මිලියන 16ක් පමණි. 2015 ජනපතිවරණයේ දී මෙන් ඡන්දය භාවිත කළ ප්‍රතිශතය 82%ක් හා නරක් වූ ඡන්ද ප්‍රමාණය 2%ක් වුවහොත් මෙවර වලංගු මුලු ඡන්ද ප්‍රමාණය මිලියන 12.8ක් පමණ වනු ඇත. ව්‍යවස්ථානුකූලව ජනපතිවරණය මුල් වටයේම ජය ගැනීමට නම් අපේක්ෂකයකු වළංගු ඡන්ද වලින් 50%ක් හා තවත් එක් ඡන්දයක්වත් (අවම පමණින්) ලබාගත යුතුය. මේ අනුව මෙවර ජනපතිවරණය මුල් වටයේම ජය ගැනීමට නම් ඡන්ද මිලියන 6.4ක පමණ ඉලක්කයක් හඹා යාමට අපේක්ෂකයන්ට සිදුවනු ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙම ඡන්ද 6.4 තිබේද නැද්ද යන්න පිළිබඳ විවිධ මත පළවනු නොඅනුමාය. එහෙත් තර්නාකුකූලව හා යථාර්ථවාදීව මෙම ප්‍රශ්නයට පිළිතුරු දිය හැක්කේ මෑත මැතිවරණවලදී ඡන්දය භාවිත කළ සංඛ්‍යා දත්ත හා ඉන් හෙළිදරව් වන රටාවන් සලකා බැලීමෙනි.

ගෝඨාභය රාජක්ෂ මහතා ඉදිරිපත් වනුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙනි. 2018 පළාත් පාලන මැතිවරණයෙන් ජය ගත්තේ ශ්‍රීලපොපෙ. මෙම ජයග්‍රහණය වටා ගොඩනැගුණු ප්‍රශංසාත්මක කතාබහෙන් යටපත් වූ යථාර්ථයක් විය. එනම් පළාත්පාලන මැතිවරණයෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලත් පක්ෂය බවට පත්වීමට ශ්‍රී ලංකා පොදු පෙරමුණට හැකි වුවද ජනපතිවරණයකදී තීරණාත්මක වන 50% කඩඉම් පැනීමට තබා ඊට ආසන්න වීමටවත් රාජපක්ෂ පක්ෂය අසමත් වූ බවය.

2018 පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාගත හැකි වූයේ වලංගු ඡන්දවලින් 40%ක් පමණි. එනම් ඡන්ද මිලියන 5කි.

මෙම මුලු ඡන්ද ප්‍රමාණයට වාගේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතේ ඇති බව අවිවාදිතය. ජනාධිපතිවරණයෙන් වැඩිම ඡන්ද ලබාගන්නා අපේක්ෂකයා බවට පත්වීමට මෙම ඡන්ද ගොඩ ඔහුට ප්‍රමාණවත් විය හැක.

එහෙත් ජනාපතිවරණය මුල් වටයේදීම ජය ගැනීම සඳහා මෙම ඡන්ද ගොඩ ඔහුට කිසිසේත් ප්‍රමාණවත් නොවේ. ජනාධිපතිවරණය මුල් වටයේම ජය ගැනීමට නම් මෙම ඡන්දයේ දී ඡන්ද ලක්ෂ 64ක්වත් දිනා ගැනීමට ඔහු සමත් විය යුතුය. එසේ නොවුනහොත් දෙවන හෝ ඇතැම් විට තුන්වන මනාප ගණනය කිරීමට සිදුවන අතර එයින් අවසන් ප්‍රතිඵලය අනපේක්ෂිත ලෙස වෙනස් විය හැක.

ශ්‍රී.ල.පො.පෙ. 2018 දී ලබාගත් මිලියන 5ට තවත් ඡන්ද මිලියන 1.4ක් එක් කිරීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබේද?

කල දුටු කල වළ ඉහ ගැනීම

තමන් නොරිස්සනා සංයමය යනු ඔහුට ආගන්තුක ගති ලක්ෂණයකි. ප්‍රශ්න නැගූ මාධ්‍යවේදීන්ට ඔහු සැරෙන් ප්‍රතිඋත්තර දුන්නේ වරක් දෙවරක් නොවේ. ස්විට්සර්ලන්තයෙන් බලු පැටවකු ගෙනඒමේ සිද්ධියක් පිළිබඳව එවකට සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘ ෆ්‍රෙඞ්රිකා ජෑන්ස් මහත්මිය 2012 ජූලි 5 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කළවිට ඔහුගෙන් ලත් ප්‍රතිචාරය මෙයට කදිම නිදසුනකි. ජෑන්ස් මහත්මිය මුලු දෙබසම පටිගත කළ බව වාර්තා වූ අතර ඇය එම දෙබස මත පදනම්ව ලියූ ලිපිය තවමත් අන්තර්ජාලයේ කියවිය හැක.
පාස්කු ඉරිදා සංහාරයෙන් මිය ගියවුන්ගේ මෘත දේහ මිහිදන් වීමටත් ප්‍රථම ගෝඨාභය රාජපක්ෂ මහතා තම ජනපති අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කිරීමෙන් පෙනී යනුයේ කෘතහස්ත දේශපාලකයන් අත්දැකීමෙන් ගොඩනගා ගන්නා සංයමය ඔහු තුළ නොමැති බවයි.

ගෝඨා රැල්ලක් ගැන ඔහුගේ අනුගාමිකයන් කියවන්නට පටන් ගන්නේ මෙම අකල් ප්‍රකාශනයත් සමගය. පාස්කු ඉරිදා සංහාරය නිසා සමස්ත කතෝලික ජනතාවගේ සහායම ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවන බවත් එබැවින් සිංහල අති බහුතරයක ඡන්ද මගින් මහින්ද රාජපක්ෂ මහතා 2010 ජනපතිවරණය ජය ගත්තාක් මෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එළඹෙන ජනපතිවරණය ජයගත හැකි බවත් ඔවුන්ගේ මතයයි.

කතෝලික ඡන්ද බෙදීයාම පිළිබඳව සංඛ්‍යාත්මක දත්ත දෙස බලන විට පෙනී යනුයේ මෙයට වෙනස් තත්ත්වයකි. 2012 සංගණනයට අනුව මෙරට සමස්ත කතෝලික ප්‍රජාව මිලියන 1.2කි. (ඡන්දය අහිමි ළමයින්ද සමඟ) මෙයින් 25%කට ආසන්න ප්‍රමාණයක් උතුරු නැගෙනහිර හා මධ්‍යම පළාත්වල වෙසෙති. මොවුන්ගෙන් බහුතරයක් දෙමළ ජාතිකයන් වීම නිසා ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට ඇති ඉඩකඩ අවමය.
ඉතිරි 75%ක් වැඩි පිරිස සංකේන්ද්‍රණය වී ඇත්තේ ක්‍්එයදකසජ ඊැකඑ යනුවෙන් හැඳින්වෙන ගම්පහ හා පුත්තලම දිස්ත්‍රික්ක හරහා වැටී ඇති තිරයේය. 2018 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල දෙස බලනවිට පෙනී යනුයේ ඒ වනවිටත් මෙම තිරයේ ඡන්ද දායකයන් අතිබහුතරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පක්ෂවූ බවය. ගම්පහ හා පුත්තලම් දිස්ත්‍රික්කවල කතෝලික බහුතරයක් සහිත ප්‍රදේශවල පළාත් පාලන ආයතන බොහොමයක බලය දිනා ගත්තේ පොදුජන පෙරමුණයි. එබැවින් මෙම සිංහල කතෝලික ඡන්දවලින් බහුතරයක් පොහොට්ටුව 2018 දී ලැබූ මිලියන 5 තුළ අවලංගු බවට උපකල්පනය කළ හැකිය.

මෙයින් අදහස් වනුයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට මුල් වටයේම ජනාධිපතිවරණය ජය ගැනීමේ මාවතක් නොමැත යන්න නොවේ.

ශ්‍රීලනිප/එක්සත් ජනතා නිදහස් සන්ධානය 2018 පළාත් පාලන මැතිවරණයේදී මුලු ඡන්ද ප්‍රමාණයෙන් 12.1%ක් හෙවත් ඡන්ද මිලියන 1.5ක් ලබා ගත්තේය. මෙම ඡන්ද තම ගොඩට එක්කර ගතහැකි නම් ජනපතිවරණය මුල්වටයේදීම ජය ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකිවනු ඇත. එහෙත් අගමැති පදවිය පිළිබඳ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමගත් ලාංඡනය පිළිබඳ ශ්‍රීලනිපය සමගත් හටගෙන ඇති මතබේදාත්මක තත්ත්වය නිසා ශ්‍රීලනිපයේ නිල සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබෙතැයි සිතීම අසීරුය.

ශ්‍රීලනිප නායකත්වයේ ස්ථාවරය කුමක් වුවද කෙළින්ම ශ්‍රීලනිප ඡන්ද දායකයන්ව අමතා ඔවුන්ගේ සහාය දිනා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකිද? එවැනි හැකියාවක් මහින්ද හා චමල් රාජපක්ෂ මහත්වරුන්ට තිබුණද කිසිදා ශ්‍රීලනිප දේශපාලන ක්‍රියාකාරිකයකු නොවූ ගෝඨාභය රාජපක්ෂ මහතාට එවැනි හැකියාවක් ඇතැයි සිතීම උගහටය. තවත් කාරණයක් වනුයේ ගතවූ වසර 4 1/2 කාලය තුළ ශ්‍රීලනිපය ගම් මට්ටමින් වඩාත් තරග කළේ එජාපය සමඟ නොව පොහොට්ටු පක්ෂය සමඟ වීමය. විශේෂයෙන්ම 2018 පළාත් පාලන මැතිවරණය තුළ මෙම පක්ෂ දෙක එකම ඡන්ද ගොඩක් උදෙසා එකිනෙකාට අභියෝග කළහ. එබැවින් මේ පක්ෂ දෙකේ අනුගාමිකයන් අතර යම් සිත් නොහොදකමක් තිබිය හැකි අතර (නායකත්වයේ බලපෑමක් නොමැති තත්ත්වයක් තුළ) ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම ශ්‍රීලනිප බහුතරයක් ඉදිරිපත් වෙතැයි සිතිය නොහැක.

මුල්වටයේම ජනපතිවරණය ජය ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා මුලු වලංගු ඡන්ද ප්‍රමාණය අඩුවන හා ඒ අඩුවූ වලංගු ඡන්ද ප්‍රමාණය තුළ සිංහල ප්‍රතිශතය වැඩිවන උපක්‍රම භාවිත කිරීමට ඉඩ තිබේ.

මේ දිනවල දෙමළ හා මුස්ලිම් ඡන්ද දිනා ගැනීම සඳහා යම් මධ්‍යස්ථවාදී රංගනයක ගෝඨාභය රාජපක්ෂ මහතා නිරතව සිටී. ඒ සමගම ඔහුගේ නිල හා නොනිල අනුගාමිකයෝ රට තුළ ජාති හා ආගම්වාදී අර්බුද ඇතිකරන උත්සන්න කරන ක්‍රියාමාර්ගයක නිරත වන බවක්ද පෙනේ.

පොතුවිල් මුහුදු මහා විහාරය පිළිබඳව විශේෂයෙන්ම අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය ජාලා හරහා ගෙනයමින් පවතින ව්‍යාජ ප්‍රචාර මෙයට කදිම උදාහරණයකි. 2013 දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව මුහුදු මහා විහාර භූමිය තුළ අසූ මහා ශ්‍රාවකයන්ගේ පිළිම තැන්පත් කිරීමට රාජපක්ෂ පාලනය කටයුතු කළ බවත් 2019දී මුස්ලිම් අන්තවාදීන් විසින් මෙම පිළිමවලින් කොටසක් කඩා දමා ඇති බවත් වාර්තා පළවිය. බිමට ඇද දමා තිබූ පිළිම යයි කියවුණු ඡායාරූප කිහිපයක්ද පළවිය. වත්මන් ආණ්ඩුව යළිත් වරක් බලයට පත් වුවහොත් සමාධි පිළිමයට හා ගල් විහාරයේ පිළිමවලටද මෙම ඉරණමම අත්වන බව එක් ෆේස්බුක් සටහනක දැක්වූයේ මෙම ප්‍රචාරවල දේශපාලන අරමුණ පැහැදිලි කරමිනි.

වෛද්‍යවරයකු හා ගත් කතුවරයකු වන පැතුම් කියර්නන් මහතා මුහුදු මහා විහාරයට ගොස් මෙම ප්‍රචාරවල ව්‍යාජය හෙළිදරව් කළේ වීඩියෝ සාක්ෂිද සමගය. මෙම පිළිම නිර්මාණය කිරීම ඇරඹුණේ 2017 බවත් තවමත් එම ඉදිකිරීම් නිමව නොමැති බවත් දැනට පිළිම බිම දිගාකොට තිබෙනුයේ ඒවා තවම නගා සිටුවා නොමැති නිසා බවත් ඔහු පෙන්වා දුන්නේය. ්ත්‍ඡ පුවත් සේවයද විහාරාධිපති හිමියන් සමඟ කළ දුරකතන සංවාදයක් හරහා මෙම කථාවේ දත්ත හෙළිදරව් කළේය.

එතැනින් ඒ කථාව යටපත් වුවද තවත් ඒ වෙනුවට ව්‍යාජ කථා ගණනාවක් නිර්මාණයවී අන්තර්ජාලය හරහා සංසරණය වුණේ අසුරු සැණිනි.

මේ මස කොළඹදී පැවැති ඩාවුඞ් බෝරාවන්ගේ සමුලුවට සහභාගිවූවන්ගේ ආහාර සඳහා දිවයින පුරා ගැබ්බර හරකුන්, හරක් පැටවුන්, රෝගී ගවයන් පොලු මුගුරුවලින් ගසා නීති විරෝධී ලෙස සංහාරය කෙරෙන බවට සත්ව අවිහිංසාව සඳහා වූ ජාතික එකමුතුව නම්වූ කිසිවකුත් නොදන්නා සංවිධානයක් ප්‍රකාශ කර තිබිණි. මේ කිසිවෙක් නොදන්නා සංවිධානය මෙම චෝදනාව කර තිබුණේ කිසිදු සාක්කියක් නොමැතිවය. බෝරාවරුන්ගේ ආහාරය සඳහා මරා දැමෙතැයි අන්තර්ජාලයේ පළවූ ඡායාරූප 2009 වයඹ පළාතේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් මරා දැමුණු හරකුන් රංචුවකගේ බව ්ත්‍ඡ පුවත් සේවය අනාවරණය කළේය.

ගෝඨාභය මහතාට පක්ෂපාතී වෙබ් අඩවිවල උතුරේ සිදුවන ඕනෑම තරමක විශාල ශබ්දයක් වාර්තා වනුයේ අභිරහස් පිපුරුමක් ලෙසය. වික්ටෝරියා වේල්ල සිදුවිය හැකි ත්‍රස්ත ප්‍රහාරයක් වළක්වාලීමේ දියකාවා නම්වූ අභ්‍යාස මෙහෙයුම බොහෝ සිංහල මාධ්‍ය වාර්තා කළේ මතුපිටින් බැලුවකුට සැබෑවටම වික්ටෝරියා වේල්ල පිපිරවීමේ ත්‍රස්ත උත්සාහයක් වූවායැයි හැඟෙන අයුරිනි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අංක එකේ ආධාරකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කර තිබූ ප්‍රකාශයක් සුලු ජාතිකයන් බිය වැද්දීමේ සැලැස්මක ඉඟියක්ද යන සැකය මතුවේ. රකින්නට මව්බිම එකතුවන ජන පවුර නම්වූ රැස්වීමකදී ඔහු කළ ප්‍රකාශය සැප්තැම්බර් 2 දා ඔවුන්ගේ වෙඞ් අඩවිය වාර්තා කළේ මෙසේය. වත්මන් ආණ්ඩුව ගෙනගිය වසර හතරහමාර පුරාම සිදු කළේ දෙමළ මුස්ලිම් අන්තවාදයට උඩගෙඩි දීමක් බවත් එහි ප්‍රතිපලයක් ලෙස සාමාන්‍ය දෙමළ මුස්ලිම් ජනතාව අනාරක්ෂිත තතත්වයකට පත්ව ඇති බවත් තමන්ගේ කඩෙන් බඩු මිලදී ගැනීමට වන සිංහල මිනිසකු වෙසෙන සුරක්ෂිත රටක් උවමනා නම් එවැනි රටක් හැදීමට හැකියාව ඇති ගෝඨාභය රාජපක්ෂයන් ජනපතිවරණයේදී දිනවීමට පෙරට එන ලෙස මෙරට සාමයට ලැදි මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ නොකියා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවරණය ජයගතහොත් මුස්ලිම් කඩ වර්ජනය කිරීමට ගෙන යන ව්‍යාපාරය නතර කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේ දී සහාය නොදේනම් මෙම වර්ජන ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යන බවත් නොවේද? මෙයින් අදහස් කරනුයේ මෙම වර්ජන ව්‍යාපාරය පිටුපස සිටිනුයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට හිතවත් පිරිසක් බවද?

මෙලෙස ජාතිවාදය හා ආගමිකවාදය ඇවිලවීමේ අනර්ථ ප්‍රතිවිපාක 2ක් ඇත. එකක් නම් යළිත් ප්‍රචණ්ඩත්වයකට මග පෑදවීමයි. අනෙක් නම් තවත් මිනීමරු ක්‍රියාවක් සඳහා ඉස්ලාමීය අන්තවාදීන් දිරිමත් කිරීමයි. තවත් කලු ජූලියකින් හෝ පාස්කු ඉරිදා සංහාරයකින් රටට ඉමහත් අගතියක් සිදු වුවද ඉන් රටට ගැලවුම්කාරයෙක් අවශ්‍යයි යන ගෝඨාභය රාජපක්ෂ සටන්පාඨය සනාථ නොවෙයිද? සිංහල, දෙමල, මුස්ලිම් ජනකොටස් අතර වෛරය වපුරුවන පිරිස්වල අරමුණ සුලු ජාතික ප්‍රජාවන් ඡන්දය දීමෙන් වැළැක්වීමටත් හිට්ලර් පන්නයේ ගැලවුම්කාරයෙක් රටට ඇවැසිය යන මිත්‍යාව සිංහල ජනවිඥානය තුළට පැලපදියම් කිරීමක්ද?

අලි කලබල

ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපතිවරණය මුල් වටයේදීම දිනා ගැනීමට මග විවර කළ හැකි තවත් සාධකයක් වනුයේ එජාපයේ දැනට උත්සන්න වෙමින් පවතින නායකත්ව පොරයයි.

එජාප අපේක්ෂකයා කවුරුන් වුවද ඔහු සටන ආරම්භ කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා පිටුපසිනි. 2018 පළාත්පාලන මැතිවරණයේදී එජාපය ලැබුවේ ඡන්ද මිලියන 3.6ක් පමණි. එබැවින් ජනාධිපතිවරණය මුල් වටයේදීම ජය ගැනීමට නම් එජාප අපේක්ෂකයා මෙම මිලියන 3.6ට අමතරව තවත් ඡන්ද මිලියන 2.8ක් එක්කර ගතයුතුය. මෙය මහමෙර තරම්වූ අභියෝගයක් බව නොකිවමනාය.

සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂත්වය දීමෙන් එජාපයට ජනාධිපතිවරණය පහසුවෙන් ජයගත හැකියැයි ඔහුගේ අනුගාමිකයන් ඉදිරිපත් කරන මතය තර්කානුකූල හෝ යථාරූපි නොවේ. 2018 පළාත් පාලන මැතිවරණයේ එජාපය ජාතික වශයෙන් මුලු වලංගු ඡන්ද වලින් 29.4%ක් ලබා ගත්තද හම්බන්තොටදී එජාපයට ලබාගත හැකිවූයේ වලංගු ඡන්දවලින් 25.5%ක් පමණි. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එජාපයට ජයගත හැකි වූයේ හම්බන්තොට නගර සභාව පමණක් වූ අතර මෙම ජයග්‍රහණයට සැබෑ හේතුව මුස්ලිම් ඡන්ද විනා සජිත් ප්‍රේමදාස සාධකය නොවේ.

2018 පළාත් පාලන මැතිවරණයේදී ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලින් 50% කඩඉම ඉක්මවා ඡන්ද ලබා ගැනීමට රාජපක්ෂවරුන්ගේ පොදුජන පෙරමුණ සමත් වුවද රාජපක්ෂ බලකොටුව වූ හම්බන්තොටදී 50% කඩඉම ඉක්මවීමට රාජපක්ෂ පක්ෂය අසමත් විය. 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජපක්ෂවරුන්ට හම්බන්තොටින් ලද 53.84% 2018 පළාත් පාලන මැතිවරණයේදී 49.9%කට පහත වැටුණි. එයත් මෙම රාජපක්ෂ ඡන්ද පදනම ඛාදනය වූයේ සජිත් ප්‍රේමදාස මහතා නිසා නොවන බව 2015 අගෝස්තුවේදී 36.5%ක් වූ එජාප හම්බන්තොට ඡන්ද ප්‍රතිශතය 2018 පෙබරවාරියේදී 25.5% තෙක් පහත වැටීමෙන් පෙනී යයි. රාජපක්ෂ ඡන්ද පදනම ඉරිතැලීමෙන් වාසි ලැබුවේ ශ්‍රීලනිපය හා ජවිපෙ විනා එජාපය නොවේ.

රාජපක්ෂවරුන්ගේ බලය හීනවූ හම්බන්තොටක් ජය ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා අසමත් වූවානම් ඔහු ජනපතිවරණය පහසුවෙන් ජයගනු ඇතැයි නිගමනය කරන්නේ කුමන පදනමක් මතද?

සජිත් ප්‍රේමදාස මහතා එජාප අපේක්ෂකයා වුවහොත් ජනපති සිරිසේන මහතාගේ සහාය ඔහුට ලැබෙන බවත් එබැවින් ඔහුට ජනපතිවරණය ජයගත හැකි බවත් මතයක් පවතී. එහෙත් මේ සහාය ලබාගැනීමට නම් සිරිසේන මහතාට අගමැති ධුරය දෙන බවට සජිත් ප්‍රේමදාස මහතාට පොරොන්දුවීමට සිදුවනු නොඅනුමානය. ගතවූ ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය නිසා එජාප සාමාජිකයන් තුළ සිරිසේන මහතා කෙරෙහි ඇත්තේ දැඩි විරෝධයකි. ඔහුට අගමැතිකම දීමට සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වුවහොත් එජාපය ඛාදනය වීමට එයම ප්‍රමාණවත් වනු ඇත. අපේක්ෂාභංගත්වයට හා කෝපයට පත් බොහෝ එජාප සාමාජිකයන් ඡන්දය දීමෙන් වැළකී සිටීමට හෝ තෙවන අපේක්ෂකයකුට ඡන්දය දීමට ඉඩකඩ තිබේ. සජිත් ප්‍රේමදාස මහතා තම පියාවූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජීවිතයෙන් පාඩම් උගත්තානම් ඔහු මෙලෙස එජාපය දෙකට කොට නැති ගෝඨා රැල්ලක් නිර්මාණය කිරීමේ දේශපාලන අපරාධයකට මුල නොගියනු නොඅනුමානය. රණසිංහ ප්‍රේමදාස මහතාට 1988 දී ජනපතිවරණ අපේක්ෂක්තව ලැබේයැයි සහතිකයක් නොවීය. ලලිත් ඇතුලත්මුදලි මහතාත් ගාමිණි දිසානායක මහතාත් ජනපති අපේක්ෂකත්වයට සටන් වැදුණු බව නොරහසකි. එහෙත් ප්‍රේමදාස මහතා අපේක්ෂකත්වය ඉල්ලා රටපුරා රැස්වීම් තැබුවේ නැත. අපේක්ෂකත්වය නොලැබුණත් ජනපතිවරණයට තරග කරන බවට වහසි බස් දෙඩුවේ නැත.

අපේක්ෂකත්වය ලැබුණු පසු ඔහුගේ නායකත්වය යටතේ එජාපය මුහුණ දුන් මැතිවරණ 3ම ජය ගත්තේ නාගරික ජන කොටස් ග්‍රාමීය නැති බැරි පිරිස හා සුලු ජාතීන් අතර වූ මැතිවරණමය සන්ධානයක් ගොඩනැගීම තුළිනි.

ඔහුගේ පුත් සජිත් ප්‍රේමදාස මහතා මෙම පාඩම් දෙක නොදනීම එජාපයේ පරාජයටත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයටත් හේතුවිය හැක.

Share this: