රාජිත කලේ අසත්‍ය ප්‍රකාශයක්

රාජිත කලේ අසත්‍ය ප්‍රකාශයක්

කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළ පරිදි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත්, එතුමාගේ ආරක්ෂක නිලධාරීන්ටත් සපයා ඇති මුළු වාහන ගණන 21 ක් බව අසත්‍යක් බව හිටපු ජනපතිගේ මාධ්‍ය සම්බන්ධීකාරක රොහාන් වැලිවිට මහතා පවසයි.

එහින්, රාජිත මහතාගේ එම අනාවරණය පිළිබඳ ඔහු විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙම චෝදනාව අසත්‍යයක් යැයි කියා සිටියි.

අදාළ නිවේදනය පහතීන් දැක්වේ.
2015 මාර්තු 25
මාධ්‍ය නිවේදනය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ එනම් මාර්තු 24 අඟහරුවාදා පවසා සිටියේ හිටපු ජනාධිපතිතුමාට අධි ආරක්ෂිත වාහන දෙකකුත්, ඒවාට සමාන තවත් වාහනයකුත්, ඩිෆෙන්ඩර් ජීප් රථ එකක්, ටොයෝටා ලැන්ඩ්කෘසර් රථ එකක් හා ඩබල් කැබ් රථ එකක් ද ලබා දී තිබෙන බවයි. සේනාරත්න මහතා තවදුරටත් පවසා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සදහා හමුදා සෙබළුන් 108 දෙනෙකුද, පොලිස් භටයින් 105 දෙනෙකුද යොදවා ඇති බවත්ය. මෙකී ආරක්ෂක නිලධාරින්ගේ භාවිතය සදහා එක් ලැන්ඩ්කෘසර් රථයක්, ඩබල් කැබ් රථ තුනක්, වැන් දෙකක්, බස් රථයක් හා යතුරු පැදි අටක් සපයා තිබෙන බවයි.

අමාත්‍ය සේනාරත්න මහතාට අනුව හිටපු ජනාධිපතිවරයාටත් එතුමාගේ ආරක්ෂක නිලධාරීන්ටත් සපයා ඇති මුළු වාහන ගණන 21 කි. නමුත් එය සත්‍ය නොවන ප්‍රකාශයක් බව අප මහජනතාවට දන්වා සිටින්නට කැමැත්තෙමු. හිටපු ජනාධිපතිතුමාට සපයා ඇත්තේ වාහන 06 ක් පමණි. එතුමාගේ ආරක්ෂක නිලධාරින්ගේ භාවිතය සදහා තිබුණු සියලූම වාහන ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා 2015.03.03 වන දා අංක එස්.පී/04/0/8 දරණ ලිපියෙන් කළ නියමය පරිදි ඉවත් කොට තිබේ.

අමාත්‍ය සේනාරත්න මහතා පවසන පරිදි හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව සඳහා හමුදා සෙබළුන් 108 දෙනකුද පොලිස් භටයින් 105 දෙනෙකුද යොදවා තිබුණද, ඔවුන්ගේ භාවිතය සඳහා කිසිදු වාහනයක් නැත. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා 2015 මාර්තු 16 වන දින වත්මන් ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාට ලිපියක් යොමුකරමින් හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂක නිලධාරින්ගේ රාජකාරි කටයුතු සඳහා වහාන පහසුකම් නොමැති වීම නිසා බරපතළ ප්‍රශ්න පැනනැගී ඇති බව දැනුම් දී සිටිය ද එම ලිපියට මෙතෙක් ප්‍රතිචාර නැත.

දශක තුනකට වැඩි කාලයක් පැවති යුද්ධය ලෝකයේ දරුණුම ත්‍රස්තවාදි සංවිධානය ලෙස එෆ්.බී.අයි ආයතනය නිළ වශයෙන් නම්කොට තිබුණු කොටි සංවිධානය පරාජය කරමින් ජයගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට මේරටේ ප්‍රමුඛතාවයක් ලැබිය යුතු බව අප මෙහිදී මතක් කර සිටීමට කැමැත්තෙමු. පරාජයෙන් පසු හිටපු කොටි සංවිධාන සමාජිකයන් විවිධ අවස්ථාවලදී දෙමළ ඩයස්පෝරාවේ ආධාර ඇතිව නැවත සංවිධානය වීමට උත්සහයන් කිහිපයක්ම ගන්නා ලදී. නමුත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙන් ඒ සියල්ල ව්‍යර්ථ කරන ලදී. මෙවැනි උත්සාහයන් ඉදිරියටත් ඇතිවීමට ඉඩ තිබෙන නිසා මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජීවිතයට සෘජු තර්ජනයක් නිරන්තරයෙන්ම පවතින බව පෙන්වා දි සිටීමට කැමැත්තෙමු. එම නිසා හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාවට ඉහළම ප්‍රමුඛතාවයක් ලැබිය යුතුය.හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂක නිලධාරීන්ගේ භාවිතය සඳහා වාහන නොතිබීමෙන් එතුමාගේ ආරක්ෂාව පිළිබඳ බරපතළ ප්‍රශ්න පැනනැගී ඇති බව අවධාරණය කර සිටිමු.
රොහාන් වැලිවිට
හිටපු ජනාධිපතිතුමාගේ මාධ්‍ය සම්බන්ධීකාරක

Share this: