රාජිතට එරෙහිව ජානිපෙ අල්ලස් කොමිසමට යයි

රාජිතට එරෙහිව ජානිපෙ අල්ලස් කොමිසමට යයි

මෙරට ධීවර ජනතාව සතු රුපියල් බිලියන 2ක් වටිනා මත්ස්‍ය සම්පත ධීවර අමාත්‍ය බලය අයුතු ලෙස යොදා ගෙන දූෂිත ලෙස තමන් සතු කර ගත්තේ යැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට එරෙහිව අද(3)ජාතික නිදහස් පෙරමුණ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ ජාතික නිදහස පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා මෙසේ පැවසීය.

‘‘අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ආවේ මේ ආණ්ඩුව බිහි කිරීමෙහිලා මූලික වැඩ කොටසක් කරපු වර්තමාන ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා වගේම, කැබිනට් ප‍්‍රකාශකවරයා ලෙසත් කටයුතු කරන හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට. ඔහු ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කරපු කාලේ සිය ධීවර අමාත්‍ය බලය අසාධාරණ හා අයුතු ලෙස පාවිච්චි කරමින් කරමින් මේ රටේ ධීවර ජනතාවට අයිති මත්ස්‍ය සම්පත මංකොල්ලකෑම පිළිබඳවයි එම පැමිණිල්ල ඉදිරිපත් කළේ.

එවකට ධීවර අමාත්‍යවරයාව සිටි රාජිත සේනාරත්න මහතා ස්වකීය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ අනුරාධ සෙනෙවිරත්න නැමැත්තා හරහා රුපියල් මිලියන 2000ක්(බිලියන 02) වටිනා මේ රටේ ධීවර ජනතාවට අයිති මත්ස්‍ය සම්පත තම අමාත්‍ය බලය අයුතු ලෙස යොදාගෙන තමන් සතු කරගෙන තිබෙනවා.

ඒ විතරක් නොවෙයි ඒ සඳහා නීතිවිරෝධී ආයතනයක් පිහිටුවලා තිබෙනවා. 2007 අංක 07 දරණ සමාගම් පනතේ විධිවිධාන උල්ලංඝණය කරමින් ‘බ්ලූ ඕෂන් ෆිෂරි පුද්ගලික සමාගම’ නමින් තමයි එම නීතිවිරෝධී ආයතනය පිහිටුවා තිබුණේ. එම ආයතනයට රුපියල් මිලියන 400ක් වටිනා ධීවර යාත‍්‍රා 8ක් රේගුවට බදු වංචා කරලා ගෙන්වලා තිබෙනවා.

මේ ධීවර යාත‍්‍රා යොදාගෙන මේ රටේ ධීවර ජනතාවට වසර ගණනාවක් නෙළා ගැනීමට තිබූ රුපියල් බිලියන 02ක්, රුපියල් මිලියන 2000ක්, රුපියල් 20,000ක් වටිනා ධීවර සම්පත් රාජිත සේනාරත්න මහතා කොල්ල කාලා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස සිටියදී සෞඛ්‍ය අමාත්‍යාංශය සමග අයථා ගනුදෙනුවක් කරලා ඊට අධිකරණයෙන් වරදකරු වෙලා වරක්  පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය පවා අහිමි වූවා .

ඒ වගේම ධීවර අමාත්‍ය බලය අයුතු ලෙස යොදා ගත් රාජිත සේනාරත්න මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස  අගමැති රනිල් වින‍්‍රමසිංහ මහත්තයාගෙන් වගේම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාගෙන් ඉල්ලනවා.

ආණ්ඩුවේ උත්තරීතර ජාතික විධායක සභාවේ සාමාජික, ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට අපි කියනවා, ‘හාල්මැස්සෝ අල්ලමින් බොරුවට කෑමොර දෙන්න නැතුව  මිනී මෝරෙක්ව අල්ලස් කොමිසමට ගෙනියන ලේසයි.

මහත්වරුනි, මෙතැනින් පටන් ගන්න තමුන්නාන්සේලාගේ යහපාලනය පෙන්වන එක. ඒක තමුන්නාන්සේලාගේ ‘ගෙදරින්ම’ පටන්ගන්න කියලා’’

Share this: