රණතුංග මහින්දගෙන් ඉල්ලීමක් කරයි

රණතුංග මහින්දගෙන් ඉල්ලීමක් කරයි

කිසිවිටකත් බලය ලබාගැනීම ඉලක්ක කරමින් රටෙහි යුධ භීතියක් ඇති නොකරන්නැයි, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් සහ එතුමාගේ ආධාරකරුවන්ගෙන්, වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉල්ලා සිටියි.

කොළඹ වරායේ පෞද්ගලික අංශයේ ක්‍රේන් ක්‍රියාකරුවන්ගේ පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයකට සහභාගීවෙමින්, අමාත්‍යවරයා ‍මෙම ඉල්ලීම කළේ.

උත්සවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල කාර්යාලයේදී පැවැත්වුනු අතර, එම උත්සවය අමතමින් අර්ජුන රණතුංග ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ බලය සඳහා ජාතිවාදය ඇවිස්සීම පාපකාරී ක්‍රියාවක් වන බවයි.

යාපනේ සිද්ධිය ඉතාමත් කණගාටුදායක සිද්දියක්, නමුත්, දැනටම ජනාධිපතිතුමාත්, අගමැතිතුමත් මූලිකත්වය ගෙන මේ ගැන පරීක්ෂණ අරඹලා වැරදි කරපු හැමදෙනාටම තරාතිරම බලන්නේ නැතිව දඞුවම් ලබාදෙනවා කියන එක අපි ඉතාමත් වගකීමෙන් කියනවා.

ඉතාමත් අවාසනාවන්තකම තමයි හිටපු ජනාධිපතිතුමාත් ඒවගේම එතුමා වටේ ඉන්න ජාතිවාදය අවුස්සන හෙංචයියෝ ටිකත් දැන් නැවත වරක් යුද්ධයක් එනවා, ත්‍රස්තවාදය ඔළුව උස්සනවා කියමින් තමන්ගේ වාසිය සඳහා නැවත වරක් ජාතිවාදය අවුස්සන ක්‍රමවේදයක් දියත් කරමින් ඉන්නවා.

අපේ කාලේ අපි අවුරුදු තිහක් පුදුම දුක් වින්ඳා, ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අයගෙනුත් වටේ අයගෙනුත් ඉල්ලනවා නැවත ඒ තැනට මේ රට තල්ලු කරන්න එපා කියලා. ඒ මේ රටේ අද සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා එකට එකතුවෙලා සන්තෝසෙන් ඉන්නවා.
තානාන්තර ගන්න හෝ පාර්ලිමේන්තුවට එන්න, පළාත් සභාවට එන්න මේ විනාසය නම් කරන්න එපා කියලා මං ඉල්ලනවා.

ඒ කරන විනාසය කවදා හරි පවු වලට වැටෙනවා කියලත් මං කියනවා. මොකද අපේ දරුවන්වත් ඒ තත්වය උදාකරන්න ඕන නැති හින්ඳා. අපි විඳපු දුක් අපේ දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට, ඇති කරලා දෙන්න එපා කියලා ඒ සියලු දෙනාගෙන්ම මං ඉල්ලනවා.” යනුවෙන්ද අර්ජුන රණතුංග මහතා එහිදී පැවසීය.

Share this: