“රට යන අත”

“රට යන අත”

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධ අර්බුදය ඉදිරියට ඇදෙමින් තිබියදී ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණු සාමාජිකයෝ සුවිශේෂී මංගල උත්සවයක් පැවැත්වීය.

ඒ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුත් නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයයි.

නාමල් රාජපක්ෂ මහතා විවාහ වූයේ සංචාරක ක්ෂේත‍්‍රයේ සුප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය සමගය.

ඊයේ (12) උදෑසන කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වුණු ආගමික වතාවත්වලින් අනතුරුව විවාහ උත්සවය වීරකැටිය කාල්ටන් නිවසේදී පැවැත්විණි. එසේම එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රබල ඇමැතිවරයකු මෙන්ම ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක රවුෆ් හකීම්ගේ දියණියගේ විවාහ උත්සවය ද ඊයේ රාත‍්‍රී කොළඹදී පැවැත්විණි. මේ නිසා ආණ්ඩුවේ හා විපක්ෂයේ දෙපාර්ශ්වයටම මංගල උත්සවවලට සහභාගි වන්නට සිදුව තිබිණි.

එජාප අර්බුදය තීරණාත්මක සන්ධිස්ථානයක

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්ව අර්බුදය ඊයේ උදෑසන වනවිටත් අවසන් ව තිබුණේ නැත.

වරක් කල්ගිය එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ සජිත් පේ‍්‍රමදාස මහතා අතර සාකච්ඡුාව අරලියගහ මන්දිරයේදී පසුගිය 10 දා රාති‍්‍රයේ පැවැත්විණි.

අග‍්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡුාව සඳහා ආරාධනා කර තිබුණේ සජිත් පේ‍්‍රමදාස මහතාට පමණක් තනිව සාකච්ඡුාව සඳහා පැමිණෙන ලෙස වුවද අනාරාධිතවම සජිත් පාර්ශ්වයේ මලික් සමරවික‍්‍රම, කබීර් හෂීම් සහ රංජිත් මද්දුම බණ්ඩාර යන අමාත්‍යවරුන් ද පැමිණ තිබිණි.

මෙම සාකච්ඡුාව සඳහා සම්බන්ධීකාරවරයකු වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අගමැතිවරයා විසින් කැඳවා තිබිණි. ඊට හේතු පැහැදිලි කරමින් අග‍්‍රාමාත්‍යවරයා සජිත්ට පවසා තිබුණේ රාජිත සේනාරත්න යනු එක්සත් ජාතික පෙරමුණේ සහ නව සන්ධානයේ ප‍්‍රධාන නායකයකු මෙන්ම මධ්‍යස්ථ මතධාරියකු බවය. එසේම සැබෑ දේශපාලනික චරිතයක් වශයෙන් රාජිත ඊට සුදුසු බව අගමැතිවරයාගේ අදහස විය. එසේම අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි මහතා ද ඊට සහභාගි විය.

සජිත්ගේ පාර්ශ්වය මෙම සාකච්ඡුා සඳහා පැමිණීමට පෙර මුදල් අමාත්‍යාංශයේදී මේ සම්බන්ධ සාකච්ඡුාවක් පවත්වා ඇති බව ද තවත් ඇමැතිවරු තුන් හතර දෙනකු ද ඊට සහභාගි වූ බවද ඒ වන විටත් අගමැතිවරයාට වාර්තා වී තිබිණි.

ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීම සඳහා එජාපයට සුළු ජාතික ඡුන්දවල වැදගත්කම අවධාරණය කළ අග‍්‍රාමාත්‍යවරයා අපේක්ෂකයා කවුරුන් වුවත් ඔහුට තනිවම තරග කර ජයගත නොහැකි බවද සුළු ජාතික පක්ෂ මෙන්ම විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානයේ සහාය නොමැතිව ජයග‍්‍රහණය කළ නොහැකි බව ද එම නිසා ඔවුන් සමග ද සාකච්ඡුා කරන ලෙස ද පවසා තිබේ.

පක්ෂ නායකත්වය නොව

අපේක්ෂකත්වය දෙන්න – සජිත්

මෙහිදී සජිත් පේ‍්‍රමදාස මහතා පවසා ඇත්තේ පක්ෂ නායකත්වය හෝ අගමැති ධුරය තමන්ට අවශ්‍ය නොවන බවත් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පමණක් තමාට ලබා දෙන ලෙසත්ය.

අපේක්ෂකයා කවුරුන් වුවත් තම අරමුණ එක්සත් ජාතික පක්ෂය දිනවීම බවත් තමන් ඒ සඳහා කටයුතු කරන බවත් අගමැතිවරයා මෙහිදී පවසා ඇත.

එසේම පිරිසක් සජිත්ව යෝජනා කළ ද එජාපයේ තවත් පිරිසක් වෙනත් අය යෝජනා කරන බව මෙහිදී අගමැතිවරයා පවසා තිබේ. තම කණ්ඩායමේ සිටින රවි කරුණානායක මහතාගේ අදහස කරු ජයසූරිය ජනාධිපති අපේක්ෂකයා කිරීම බව ද තවත් එවැනි යෝජනා ද පවතින බවද

අගමැතිවරයා පවසා තිබේ. මෙහිදී මලික් සමරවික‍්‍රම පවසා ඇත්තේ රවි යනු එක පුද්ගලයකු පමණක් බවය. එහිදී ඊට පිළිතුරු දුන් දිනේෂ් වීරක්කොඩි පවසා ඇත්තේ රවි කරුණානායක යනු මහජන ඡුන්දයෙන් තේරී පත්වූ මහජන නියෝජිතයකු බවත් මලික් සමරවික‍්‍රම ජාතික ලැයිස්තුවෙන් පත්වූවකු බවත්ය.

එසේම හැකි ඉක්මනින් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ රැුස්වීමක් පැවැත්වීමට මෙහිදී එකඟතාවයක් ඇති විය. එසේම අගමැතිවරයා වෙනුවෙන් මේ කටයුතු සඳහා රාජිත සේනාරත්න මෙහිදී නම් කරන ලදී. එහිදී රාජිත මීට සුදුසුම පුද්ගලයා බව කියමින් සජිත් ද ඊට එකඟ වී ඇත.

එසේම මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදු කළ, මේ වනවිට තමන් සතුව ඇති සියලූම සමීක්ෂණ වාර්තා සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදීමට ද අගමැතිවරයා මෙහිදී එකඟ වී ඇත.

ඒ අනුව සාකච්ඡුා දිගටම පවත්වාගෙන යෑමේ එකඟතාවයෙන් යුක්තව සුහද ලෙසින් රනිල් – සජිත් සාකච්ඡුා අවසන් වී තිබේ.

සාකච්ඡුාවලින් අනතුරුව සජිත් පාර්ශවය පිටත්ව ගිය පසු අගමැතිවරයා තම හිතවතුන් සමග පවසා ඇත්තේ සජිත් ඉතාම හොඳ අයකු බවත් විවිධ පාර්ශ්ව සජිත්ව ඉත්තෙක් කරගෙන සිටින බවත්ය.

දෙවන සාකච්ඡුාව රාජිතගේ නිවසේ

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධ ගැටලූව විසඳා ගැනීම සඳහා 10දා පැවති රනිල් – සජිත් සාකච්ඡුාවේදී එළඹුණු එකඟතාවයට අනුව 11 වැනිදා දහවල් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ නිවසේදී තවත් හමුවක් පැවැත්විණි.

රාජිත සේනාරත්න මහතා සමග එජාප සජිත් පාර්ශ්වයේ මලික් සමරවික‍්‍රම මහතා සහ මංගල සමරවීර මහතා ද ඊට සහභාගි වී තිබිණි.

එහිදී සජිත් පාර්ශ්වය විසින් මෙතෙක් සිදු කරන ලද ජනමත සමීක්ෂණ වාර්තා ඇතුළු සියලූ සංඛ්‍යා ලේඛන මලික් සමරවික‍්‍රම මහතා විසින් රාජිත සේනාරත්න මහතා වෙත භාර දෙන ලදී.

ඉන් අනතුරුව සාකච්ඡුාව අරඹමින් මංගල සමරවීර මහතා ප‍්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා රනිල් විය යුතු බව තමන් 2018 දී පැවසුවද මේ වන විට දේශපාලන යථාර්ථය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවය. ගම්මට්ටමේ, බිම්මට්ටමේ ජනතාව ඉල්ලන්නෙ සජිත් බවද එම නිසා තමන් සජිත්ට වැඩ කරන බවද මංගල පවසා තිබේ.

ඊට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න පවසා ඇත්තේ සජිත් තනියම එනවා නම් ඒක ප‍්‍රශ්නයක් නොවන බවත් විවිධ පාර්ශව සජිත්ව ඒ ඒ අයට අවශ්‍ය ලෙස පාවිච්චි කිරීම බොහෝ දෙනකුට ගැටලූවක් වී ඇති බවත්ය.

සජිත්ගේ හිත හොඳකම විවිධ පාර්ශව වැරදි ලෙස භාවිත කරන බව රාජිත පවසද්දී ඊට එරෙහිව මලික් හෝ මංගල මෙහිදී කිසිවක් ප‍්‍රකාශ කර තිබුණේ නැත.

මේ අතර එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතාගේ මව වන හේමා පේ‍්‍රමදාස මහත්මිය

පසුගිය දිනෙක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දුරකතන ඇමතුමක් ලබා දී තිබේ.

එජාප සමගිය සම්බන්ධයෙන් එහිදී ඔවුන් අතර සාකච්ඡුා වී තිබේ. සජිත් පේ‍්‍රමදාස මහතා කිසිසේත්ම එජාපය හැර දා නොයන බවත් ඔහු වටා ඉන්නා පිරිස විසින් ඊට බල කළ ද සජිත් එවැනි තීරණයක් නොගන්නා බව ඇය පවසා තිබේ. සාමාන්‍යයෙන් බරපතල දේශපාලන තීරණ ගන්නා අවස්ථාවලදී සජිත් තම මව සමග සාකච්ඡුා කරන බව පේ‍්‍රමදාස පවුලේ සමීපතමයෝ පවසති.

කෙසේ වෙතත් සජිත් පාර්ශ්වයේ දැඩි අදහස වී ඇත්තේ කෙසේ හෝ ජනාධිපතිවරණයට සජිත් කුමන ආකාරයකින් හෝ තරග කළ යුතු බවය.

ජනාධිපතිවරණ දිනය?

ජනාධිපති ධුර කාලය අවසන් වන දිනය සම්බන්ධව මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන බව පැවසුන ද ඊයේ වන තුරුත් එවැනි මත විමසීමක් සිදුකර තිබුණේ නැත.

එවැනි විමසීමක් සිදු නොකළහොත් ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය මේ මස 30 වැනි දින නිකුත් කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ.

නාම යෝජනා නිවේදනය නිකුත් කළ දිනයේ සිට දින

16 ත් දින 21 ත් අතර කාලය තුළදී නාම යෝජනා සහ ඇප තැන්පත් මුදල් බාර ගැනීම සිදු කෙරේ.

නාමයෝජනා බාර ගන්නා දිනයේ සිට සති හතරත් සති හයත් අතර කාලය තුළදී ඡුන්ද විමසීම පැවැත්විය යුතු බව මැතිවරණ නීතියේ සඳහන්ය.

මේ අතර මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට අපේක්ෂකයින් 17 දෙනෙකු මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

පිළිගත් දේශපාලන පක්ෂ 14 ක් ලිඛිතවත් තවත් දේශපාලන පක්ෂ දෙකක් වාචිකවත් සහ ස්වාධීන අපේක්ෂකයෙකුත් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට දැනුම් දී ඇත.

මෙවර ජනාධිපතිවරණයට තරග කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඒ බව දැනුම් දෙන්නැයි මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවලට දැනුම් දීමක් කර තිබූ අතර ඒ අනුව මෙම දැනුම්දීම කර තිබේ.

පෙරටුගාමීන්ගෙනුත් අපේක්ෂකයෙක්

මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව නම් කරනු ලැබීය.

යුක්තිගරුක සමාජයක් වෙනුවෙන් සමාජවාදී අපේක්ෂකයෙක් යන මැයෙන් කොළඹ නව නගර ශාලාවේ පැවැති සම්මන්ත‍්‍රණයකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් නාගමුව මහතාව පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරනු ලැබිණි.

කුමාර් ගුණරත්නම් මහතා විසින් ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමත් සමග සම්මන්ත‍්‍රණයට එක්ව සිටි සියලූම දෙනා තම අසුනින් නැගිට දෑත් ඔසවා එම යෝජනාව ඒකමතිකව අනුමත කරන ලදී.

කමිටු සභාපතිලාට දෙන

ලක්ෂ දෙකක දීමනාවට විරෝධය

සංවර්ධන කමිටු සභාපති ධුර දරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට රුපියල් ලක්ෂ දෙකක මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයක් මෙවර කැබිනට් රැුස්වීමේදී දෙවන වරටත් ප‍්‍රතික්ෂේප වී තිබේ.

එම යෝජනාවට කැබිනට් රැුස්වීමේදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා දැඩි විරෝධය පළකර ඇත.

සංවර්ධන කමිටු සභාපති ධුර දරන මන්ත‍්‍රීවරුන් 23 දෙනෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා පළාත් පාලන පළාත් සභා හා ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා මෙම කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.

මෙම කැබිනට් පත‍්‍රිකාව මීට සති කිහිපයකට පෙරද අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබූ අතර එහිදී ද ජනාධිපතිවරයා ඊට දැඩි විරෝධය පළකර තිබිණි.

හිටපු පළාත් මන්ත‍්‍රී වාහන බලපත‍්‍ර

යෝජනාව ප‍්‍රතික්ෂේප වෙයි

එසේම පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ට තීරු බදු සහන යටතේ වාහන ආනයනය කිරීමට බලපත‍්‍ර ලබාදීම සඳහා පළාත් පාලන, පළාත් සභා හා ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා විසින් මෙවර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාව ද කැබිනට් රැුස්වීමේදී දෙවන වරටත් ප‍්‍රතික්ෂේප විය.

මෙම යෝජනාව ගිය සතියේ පැවැති කැබිනට් රැුස්වීමට ද ඉදිරිපත් කර තිබූ අතර එහිදී මුදල් ඇමැති මංගල සමරවීර මහතා විරෝධය පළකිරීම හේතුවෙන් එය ප‍්‍රතික්ෂේප වී තිබිණ.

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රීවරුන් තිදෙනකු හැර එහි සෙසු මන්ත‍්‍රීවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයනය කිරීමට බලපත‍්‍ර නිකුත් කර තිබිණි. එහි ඉතිරි මන්ත‍්‍රීවරුන්ටත් දැනට නිල කාලය අවසන් වී ඇති උතුරු මැද, සබරගමුව, නැගෙනහිර, මධ්‍යම, වයඹ, දකුණු සහ බස්නාහිර යන පළාත් හතේ හිටපු මැති ඇමැතිවරුන්ටත් ඌව පළාත් සභාවේ මැති ඇමැතිවරුන්ටත් වශයෙන් 418 දෙනෙකුට බදු සහන යටතේ වාහන ආනයනය කිරීම සඳහා බලපත‍්‍ර ලබාදීමට අනුමැතිය ඉල්ලා තිබිණි.

මේ අවස්ථාවේ රටේ පවතින තත්ත්වය අනුව මෙම යෝජනාවට කිසිසේත් එකඟ විය නොහැකි බව ඇමැති මංගල සමරවීර මහතා කැබිනට් රැුස්වීමේදී ප‍්‍රකාශ කර ඇති අතර එහිදී වජිර අබේවර්ධන ඇමැතිවරයා පවසා ඇත්තේ තෝරාගත් පිරිසකට පමණක් බලපත‍්‍ර දීම අසාධාරණ බවය.

Share this: