රට නංවන්න එක්විය යුතුයි

රට නංවන්න එක්විය යුතුයි

සිංගප්පූරුව, කොරියාව, චීනය වැනි රටවල් ඔවුන් විසින් සිය දියුණුවකින් ගොඩනැඟුවා සේ අපි ද දේශපාලන පක්ෂ භේදයකින් තොරව රට සංවර්ධනය කිරීමට එකට එක්විය යුතු බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවසීය. තවදුරටත් දේශපාලන පක්ෂ රැකගැනීම වෙනුවෙන් ජාතිවාදී ප්රකාශ කරමින් සිටියහොත් එහි අවාසිය සිදුවන්නේ මාතෘභූමියට බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (05) රුපියල් මිලියන 6241 වියදමින් ආරම්භ කළ විසල් රුවන්වැල්ල ජලසම්පාදන ව්යාපෘතියේ වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව, රුවන්වැල්ල රාජසිංහ මධ්ය මහා විද්යාලයේ තෙමහල් පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
රුවන්වැල්ල විසල් පානීය ජල යෝජනා ක්රමය මඟින් ප්රතිලාභීන් 35000 දෙනකු හට පානීය ජලය ලබාදෙනු ලැබේ. ව්යාපෘතිය සඳහා රජය විසින් රුපියල් මිලියන 6241 ක් වියදම් කර තිබේ.
අනතුරුව අග්රාමාත්යවරයා රුවන්වැල්ල සුලෙයිමානියා මුස්ලිම් මහා විද්යාලයේ නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමෙන් අනතුරුව කෑගල්ල සිරි සමන් විද්යාලයේ නව තෙමහල් පංති කාමර ගොඩනැගිල්ලක් සහ ශ්රවණාගාරයක් සිසු අයිතියට පත්කිරීමෙන් අනතුරුව ලක්ෂ හයක් වටිනා පුටු කට්ටලයක් ප්රදානය කිරීම අගමැතිවරයාගේ ප්රධානත්වයෙන් සිදුවිය.
රුවන්වැල්ල නව බස් නැවතුම්පොළ හා ක්රීඩාංගණය සහ වටරවුම සහ අවට මාර්ග කාපට් අතුරා ප්රතිසංස්කරණය කිරීමේ ව්යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අගමැතිවරයාගේ ප්රධානත්වයෙන් සිදුවිය.
එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණේ සාමාජිකයින් සමඟ සාකච්ඡාවක් සඳහා එක්වූ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා එහිදී තරුණ, තරුණියන් ඉදිරිපත් කළ පොදු ගැටලු සියල්ල සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන බව වැඩිදුරටත් පැවසීය.
දැරණියගල පොදු බස් නැවතුම්පළෙහි ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාව සඳහාද අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා එක්විය. ඒ සඳහා රුපියල් මිලියන 24ක් වෙන්කර තිබේ.
දැරණියගල කොස්ගස්ලන්ද මහා විද්යාලයේ තෙමහල් ගොඩනැගිල්ල සහ ශ්රවණාගාරය සිසු අයිතියට පත්කිරීම සඳහාද අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා එක්විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා.
අපි දිවයින පුරා විශාල වෙළෙඳ කලාප ඉදිකිරීමට බලාපොරොත්තු වනවා. සංචාරක ව්යාපාරය ගොඩනැඟීමට බලාපොරොත්තු වනවා. බෝම්බ ප්රහාරයෙන් අවාසිය ඇතිවුණත් මේ වන විට යථා තත්ත්වයට ගෙන තිබෙනවා.
ණය බරින් මිදෙන්න අපි අපනයනය ශක්තිමත් කළ යුතුයි. ජපානය, චීනය, කොරියාව හැදුණේ අපනයනය කරලා. ඇයි අපට කරන්න බැරි. තාමත් දියුණුවක් ලැබී තිබෙන්නේ එක් බෞද්ධ රටක් විතරයි, ඒ තායිලන්තය පමණයි. අපේ ප්රශ්නවලින් අපිම ගොඩ යා යුතුයි. වෙන කවුරුත් රටවල් නෑ අපිව ගොඩගන්න. අපිට ශක්තිය තිබෙනවා ගොඩ එන්න. අනාගතය දිහා බුද්ධිමත්ව බැලිය යුතුයි. අපි හැමදාම එක තැන ඉඳගෙන අතීතය ගැන කතා කරමින් සිටිනවාද, අපි ජාතිවාදය, ආගම්වාදය ඇති කරගත්තොත් අවාසිය ඇති වෙන්නේ ලංකාවටමයි. දැන් අපි අලුතින් සිතා ඉදිරියට යා යුතුයි. විශේෂයෙන්ම දේශපාලන නියෝජිතයින් අලුතින් සිතිය යුතුයි.
මේ රට ඉදිරියට ගෙනයාම සඳහා වෙහෙසෙන්නේ අනාගතය බාරගැනීමට සිටින දූ දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කිරීමටයි. එය අපේ යුතුකමයි. අපි අපේම ශක්තියෙන් ගොඩනැඟිය යුතුයි. ඊළඟ වසර පහ තුළ ආයෝජන ලබාගෙන, සංචාරක ව්යාපාරය දියුණු කරමින්, තාක්ෂණය දියුණු කර ලංකාව ගුවන් හා වරාය ක්ෂේත්රයේ කේන්ද්රය කරන්නයි. ඒ සඳහා අපි සියලු දෙනා පක්ෂ භේදයකින් තොරව එක්වෙමු.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්රී තුසිතා විජේමාන්න, අමාත්ය කබීර් හෂීම්, දැරණියගල ආසන සංවිධායක ජයන්ත පොල්ගම්පළ සහ ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ නිලධාරීන්ට රැසක් සහභාගි වූහ.

Share this: