රටත් ජනතාවත් මුදා ගැනීමේ වගකීම කිසිසේත් අත්හරින්නේ නැහැ – අනුර කුමාර දිසානායක

රටත් ජනතාවත් මුදා ගැනීමේ වගකීම කිසිසේත් අත්හරින්නේ නැහැ – අනුර කුමාර දිසානායක

දේශපාලනයේ හැරවුම්, පසුබැසීම්, ව්‍යාකූල තත්ත්වයන්, ඈත්වීම් ඕනෑ තරම් ජීවිත කාලය තුළ අත්විඳ ඇති බවත් සෑම මොහොතකම යළි යළිත් අප ශක්තිමත් වෙමින්, ධෛර්ය ලබා ගනිමින්, යළි යළිත් මාවත හොඳින් විවෘත කර ගනිමින් මේ රටත් රටේ ජනතාවත් මුහුණදී තිබෙන අභියෝගයෙන් මුදා ගැනීමේ වගකීම කිසිසේත් අත්නොහරින බව මේ රටේ පොදු ජනතාවට සපථ කර කියා සිටින බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ 18 වැනිදා සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ 18 වැනිදා එම අදහස් පළ කළේ බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

අප ජාතික ජන බලවේගය ලෙස මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. මෙතෙක් ලංකාවේ දේශපාලන වේදිකාවලට ගොඩ නොවැදුණු කණ්ඩායම් විශාල ප්‍රමාණයක් අපට දායකත්වය ලබා දුන්නා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥවරුන්, සාහිත්‍යධරයන්, කලාකරුවන්, සමාජ ක්‍රියාකාරීන් ආදී විශාල පිරිසක් අපේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වුණා. අපිට අපේක්ෂා සහගත ඉලක්කයක් තිබුණා. ජනාධිපතිවරණයට ප්‍රධාන කඳවුරු දෙකක් පෙළ ගැසී ඇති වෙලාවක මැතිවරණ ව්‍යාපාරය කෙතරම් දුෂ්කරද, අසීරුද යන්න අපි හොඳින්ම දැන සිටියා. ඒ බව දැනගෙනමයි අපි මැතිවරණ ව්‍යාපාරයට අවතීර්ණ වුණේ. අපි යම් ප්‍රතිඵලයක් අපේක්ෂා කළා. මෙම මැතිවරණ ප්‍රතිඵලය තුළ එම ප්‍රතිඵලය නොමැති බව පැහැදිලියි. නමුත් අපි දන්නවා, ලංකාවේ මෙතෙක් පැවති මැතිවරණ ව්‍යාපාර තුළ විකට ජනක,

නාඩගම්කාරී වේදිකා අපි දැක තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ තමයි අපි රට ගොඩනැඟීම පිළිබඳ සංවාදයත් මේ රට ගොඩගැනීම පිළිබඳ අසීරුතාවයත්, ජනතාව මුහුණ දී තිබෙන ගැටලු සහ එය විසඳා ගැනීම සඳහා තිබෙන මාවතත් අපි ඉතා හොඳින් ජනතාවට පෙන්වා දුන්නා. ප්‍රතිඵලය කවරක් වුවත් අපි විශ්වාස කරනවා මේ රටටත් රටේ ජනතාවටත් ගත යුතු මාවත වන්නේ, අප විසින් පෙන්වා දෙන ලද මාවත බව. ආර්ථික සංවර්ධනය සඳහා, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා, යහපත් සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා, සිංහල-දෙමළ-මුස්ලිම් ජනයා අතර සමගිය නිර්මාණය කිරීම සඳහා, රටේ හා මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඇති මාවත ජාතික ජන බලවේගය විසින් පෙන්වා දෙන ලද මාවත පමණක් බව අපි විශ්වාස කරනවා. ඒ මාවත හැර මැතිවරණ ව්‍යාපාරය තුළ කවර හැඩයක් පෙන්නුම් කර තිබුණත් ජනතාවට තෝරා ගත යුතු මාවත අප විසින් පෙන්වා දී තිබෙනවා.

ඒ වගේම අපි දන්නවා, මේ මැතිවරණ ව්‍යාපාරයෙන් පසුව රටේ ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳව අප හැම දෙනාටම පූර්ව අවබෝධයක් තිබෙනවා. ආර්ථික වශයෙන් අපේ රට ගමන් කළ හැක්කේ කවර දිශාවකටද? ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල විය හැක්කේ කවර තර්ජනයක්ද? සිංහල-දෙමළ-මුස්ලිම් ජනයා අතර සමගිය වර්ධනය කරනවා වෙනුවට ඔවුන් අතර සැකය, අවිශ්වාසය, ගැටුම තව තවත් වර්ධනය කිරීමේ දිශාවට යන බව ඉතා හොඳින් පෙන්නුම් කරමින් තිබෙනවා. ඒ නිසා මේ රටේ හා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනුත් රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙනුත් අපි නොසැලී සටන් කරන බවට අපි සපථ කරනවා. ඒ වෙනුවෙන් ඉදිරියට එන බව මේ රටේ ජනතාවට ප්‍රකාශ කරනවා. මන්ද 71 වසරක් අනුගමනය කරමින් ආ ප්‍රතිපත්ති අපේ රට ගෙනැවිත් තිබෙන්නේ කොතැනටද, ඒවාට අපේ රට ගෙනයා හැක්කේ කොතැනටද යන්න අප ඉදිරියේ විද්‍යමාන වෙමින් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය කළ හැකිද? හැකිළිය හැකිද? අප ඉදිරිපිට ඇති සාකච්ඡා මණ්ඩපය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල විය හැකි අනතුර ඉතා හොඳින් අපට පෙන්වා දී තිබෙනවා. මැතිවරණයෙන් පසුව පෙනී යමින් තිබෙන්නේ සිංහල-දෙමළ-මුස්ලිම් ජනතාව අතර සැකය අවිශ්වාසය වර්ධනය වන තත්ත්වයක් ඇතිවී ඇති බවයි.

ඒ නිසා අන් කවරදාකටත් වඩා වැඩියෙන් අප විසින් ඉදිරිපත් කළ දේශපාලනය, අප විසින් පෙන්වා දෙන ලද ගමන් මාවත මේ රටත් මේ රටේ ජනතාවටත් ඉදිරි ගමන් මාවත වන බව ඉතාම පැහැදිලියි. ඒ නිසා හෙට දවසේද ඒ ගමන් මාවත වෙනුවෙන් කිසිදු පසු බැසීමකින්, ආපසු හැරීමකින් තොරව සටන් වදින්නත් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමටත් සූදානම් බව අප මේ ජනතාවට ප්‍රකාශ කිරීමට කැමතියි.

ඒ වගේම මැතිවරණ ව්‍යාපාරය තුළ පුළුල් බලවේගයක් නිර්මාණය කර ගැනීමට අපට හැකියාව ලැබුණා. දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, සිවිල් ක්‍රියාධරයන්, කලාකරුවන්, සාහිත්‍යධරයන්, වෘත්තීයවේදීන් ආදීන් විශාල

පිරිසකගෙන් සමන්විත බලවේගයක් අප නිර්මාණය කර ගත්තා. මා විශ්වාසය කරනවා එම බලවේගය කවරදාවත් තමන්ට කිසිවක් අපේක්ෂා කරන ලද කණ්ඩායමක් නෙමෙයි. මේ රටත් මේ රටේ ජනතාවත් මුහුණදී තිබෙන ගැඹුරුතම අර්බුදයන්ගෙන් මේ රට ගොඩගැනීම සඳහා වූ අවංක වුවමනාවක් ඔවුනට තිබුණා. මේ ක්‍රියාධරයන් අප හා සමාන ලෙසම මේ ව්‍යාපාරය තුළ විශාල වැඩ කොටසක් කළා. මෙම මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට ගෙන යාමට ඔවුන් දැක්වූ දායකත්වය පිළිබඳව මම ඔවුනට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. ඔවුන් දිවා රෑ නොතකා ගම්, නගරවල ඇවිදිමින් පුරවැසියන් මුණ ගැසෙමින් මේ දේශපාලන කර්තව්‍යය වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටුකළා. ජාතික ජන බලවේගය ලෙස ඒ සියලුම දෙනාට අප ස්තූතිවන්ත වෙනවා.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් අනුර කුමාර දිසානායක මහතා-

ප්‍රශ්නය – ඔබතුමන්ලා වගේම අපිත් මීට වඩා හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණා. ඔබතුමාලට තිබෙන කැමැත්ත කතිරයට හරවන්න බැරිවෙලා තිබෙනවා. ඔබතුමාලා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ. මේ ගැන පසුවිපරමක් අවශ්‍ය නැද්ද?

පිළිතුර- මේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය ගැන සමාලෝචනයක් කරගත යුතුව තිබෙනවා. එම කිසිදු සමාලෝචනයකදී අපි වෙනස් නොකරගත යුතු කරුණු කිහිපයක් තිබෙනවා. අපි කිසිසේත් ජාතිවාදයට වැටෙන්නේ නැහැ. අතිශය දුෂ්කර තත්ත්වයක් හමුවේ වුවද ජාතික සමගිය වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ වගේම දේශපාලන න්‍යාය පත්‍රයේ කොතනකවත් ආගම හෝ අන්තවාදය කොටසක් කර ගන්නේ නැහැ. මහජනයාගේ දේපළ සොරාකන දූෂණයේ යොදන දේශපාලනයේ අපි නිරත වෙන්නේ නැහැ. රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයන් ශක්තිමත් කරනවා වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවමින් යම් රාජාභිෂේකයක් දක්වා ඔසවන දේශපාලනයක නිරත වන්නේ නැහැ. මේ ස්ථාවරයන් අපි වෙනස් කරගන්න සූදානම් නැහැ.

මේ මැතිවරණය ස්වභාවයෙන්ම කඳවුරු දෙකක් අතර ඇතිවන තීව්‍ර සටනක් බව අපි දන්නවා. එනිසා ඡන්ද ධ්‍රැවීකරණය වීම වළක්වන්න බැහැ. ගොඩක් අය වාර්තා කළා සාමකාමී ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයක් කියලා. නමුත් අපි විශ්වාස කරන්නේ අපේ රටේ මැතිවරණ ප්‍රචණ්ඩත්වය ස්මාර්ට් වෙලා තිබෙනවා. එක යුගයක තිබුණා ගෙවල්වලට ගිහින් ඡන්ද කාඞ්පත් පැහැරගෙන අනෙකා වෙනුවෙන් තව කෙනෙක් ඡන්දය පාවිච්චි කළා. අනෙක් ආකාරය ඡන්ද දායකයන් පලවා හැරලා ඡන්ද පෙට්ටි පිරවීම. ඒ වගේම පෙට්ටිය පිටින්ම මාරු කළ ප්‍රචණ්ඩ ක්‍රියා දැකලා තිබෙනවා. මේ සියලු දෙයින් සිදුවන්නේ ජනතාවගේ කැමැත්ත සාධාරණ ලෙස පිළිබිඹු වන එක වළක්වාලීම. මෙවරත් එහෙම වුණා. ජනතාවගේ කැමැත්ත ඇත්ත ලෙස පිළිබිඹු වීමට රාජ්‍ය හා පුද්ගලික නාලිකා කිහිපයක් ඉඩ දුන්නේ නැහැ. ඇත්ත ගත්තොත් රාජ්‍ය නාලිකාවල සමාජ බලපෑම හීනවෙලා තිබෙන තත්ත්වයක් තුළ නාලිකා කිහිපයක් තම පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ජනතාවගේ කැමැත්ත මත බලපෑමක් ඇතිකොට තිබෙනවා. මාධ්‍ය අසත්‍ය කීම ප්‍රශ්නයක් නොවේ. මොකද එය නිවැරදි කරන්න පුළුවන්. භයානක දේ තමයි මාධ්‍ය ජනතාව මත වැරදි පරාවර්තනයන් ඇති කිරීම. පල්ලියක කඩු ඇති බව වාර්තා කිරීම ප්‍රශ්නයක් නොවේ. නමුත් මාධ්‍ය විසින් එය කඩු තබා ගත්තේ උඹලට ගහන්න කියලා ජනතාව මත වැරදි මතයක් ඇති කිරීම භයානකයි. ඒ වගේම මැතිවරණ ව්‍යාපාරයේ කටයුතු පෙන්වන්න පුළුවන්. නමුත් යම් පුද්ගලයෙක් ජයග්‍රහණය කරන බව, ඔහු ජයග්‍රහණය නොකළහොත් රටට අහිතකරයි යනුවෙන් පරාවර්තනයක් ඇති කිරීම භයානකයි. ඒ වගේම අනෙක් පුද්ගලයෙක් ජයග්‍රහණය කරන්නේ නැහැ ජයග්‍රහණය කළහොත් රටට විනාශකාරිත්වයක් ඇති වෙයි කියලා පරාවර්තනය කිරීම භයානකයි. ඒ වගේම මේ අය ඡන්ද ව්‍යාපාරයට අදාළ නැහැ කියලා පරාවර්තනය කිරීම භයානකයි. මැතිවරණ කොමසාරිස්තුමත් ප්‍රකාශයට පත් කරලා තිබුණා මාධ්‍ය නාලිකාවලට මන්ත්‍රීවරුන් පත්කරලා එවන්න කියලා. එය ප්‍රකාශයට පත්කිරීම ගැන එකඟයි. නමුත් ඒ සඳහා මැදිහත්වීම ප්‍රමාණවත් නැහැ. අපි හිතනවා ජන මනස වෙනස් කිරීම සඳහා විශාල තලයකට මාධ්‍ය නාලිකා ගමන්කොට තිබෙනවා. අපි පසුවිපරමේදී සොයා බැලිය යුතු වෙනවා මෙවැනි මාධ්‍ය හැසිරීමකදී අපේ මතය ජනතාව අතරට ගෙන යන උපක්‍රම මොනවාද කියලා.

Share this: