රජය කොරෝනා ගැන තොරතුරු ජනතාවගෙන් සඟවනවාද?

රජය කොරෝනා ගැන තොරතුරු ජනතාවගෙන් සඟවනවාද?

රජය කිසිවිටෙක පවතින වාතාවරණ පිළිබඳ තොරතුරු සඟවන්නේ නැති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

අද උදෑසන රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

විවිධ මාධ්‍ය වාර්තා හා රජය මගින් ලබාදෙන තොරතුරු අතර යම් පරස්පරතාවක පවතින බවත් මේ හේතුවෙන් රජය ජනතාවගෙන් තොරතුරු සඟවනවාද යන්න මෙහිදී හමුදාපතිවරයාගෙන් මාධ්‍යවේදියා ප්‍රශ්න කළා.

ඊටපිළිතුරු දෙමෙන් හමුදාපතිවරයා පැවසුවේ,රජය කිසිවිටෙක බොරුවක් හෝ තොරතුරු සැඟවීමක් නොකරන බවයි.

සෑම දිනකම උදෑසන ජනාධිපතිවරයා ඇතුළු කොරෝනා මර්ධන කාර්යයසාධක බලකාය රැස්ව සාකච්ඡා කරන බවත් එහිදී සාකච්ඡා කරනු ලබන සෑම කරුණක්ම ජනතාවට ලබා ගැනීමට ඉඩ සලසා ඇති බවත් ඒ මහතා සඳහන් කළා.

නමුත් මේ වනවිට සෑම ප්‍රදේශයකම මාධ්‍යවේදීන් සිටින නිසා ඔවුන් දැනගත් තොරතුරු කඩිනමින් වාර්තා කිරීමක් සිදුවනවා. කාර්යසාධක බලකායෙන් සිදු කරන්නේ,මාධ්‍ය නිවේදන ලබා දීමට යොදාගෙන ඇති වේලාව වනවිට වාර්තා වන සියලු ආසාදිතයින් එකවර ගණනය කර ඉදිරිපත් කිරීමයි.

මාධ්‍යවේදීන්ට තොරතුරු ලැබුන සැනින් වාර්තා කිරීමේ හැකියාව තියෙනවා.නමුත් අපි වාර්තා වන සැනින් එය ප්‍රකාශ කරන්නේ නැහැ.ඔබ දන්නවා සවස 6 උදෑසන 6 වගේ වෙලාවක තමයි අපි නිවේදන නිකුත් කරන්නේ.ඒ වෙද්දී සිටින ආසාදිතයින් ගණන අප සමස්තයක් ලෙස ඉදිරිපත් කරනවා.

මේ ඇරෙන්න අපි කිසිම තොරතුරක් සඟවා නැහැ.මේ වගේ රටක එහෙම කරන්නත් බැහැ.මොකද ජනතාව බුද්ධිමත්.ඔවුන්ට කෙසේ හෝ තොරතුරු වාර්තා වනවා. මේ නිසා අපි කිසිම තොරතුරක් සඟවන්නේ නැහැ.

Share this: