රජය අපකීර්තියට පත්වන ලෙස කටයුතු කිරීම, සාවද්‍ය සාක්‍ෂි නිර්මාණය කිරීම චෝදනා මත ගානියා රිමාන්ඞ්

රජය අපකීර්තියට පත්වන ලෙස කටයුතු කිරීම, සාවද්‍ය සාක්‍ෂි නිර්මාණය කිරීම චෝදනා මත ගානියා රිමාන්ඞ්

පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැනිස්ටර් ෆ‍්‍රැන්සිස් නැමැත්තිය දෙසැම්බර් 30 වැනිදා දක්වා රිමාන්ඞ් බන්ධනාගාරගත කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණි.

රජය කෙරෙහි අපකිර්තියක් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම සහ ඉදිරි අධිකරණ ක‍්‍රියාමාර්ගයකදී භාවිත කිරීමේ අරමුණින් සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීම යන චෝදනා මත ඇය අත්අඩංගුවට පත්ව තිබේ.

තමන්ව පැහැරගත් බවට චෝදනා කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැනිස්ටර් ෆ‍්‍රැන්සිස් නමැති නිලධාරිනියගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් සතියේ දින කිහිපයකදීම දීර්ඝ ලෙස ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගත්තේය.

ඒ අතර ඇයගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාව ලබාගැනීම සඳහා මානසික වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කරන ලෙසටද කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණය ඉකුත් 12 වැනිදා නියෝග කළේය. ඒ අනුව මානසික සෞඛ්‍ය පරීක්‍ෂණ කටයුතු සඳහා සහභාගි වීමට ඇය ඊයේ (16 දා) උදෑසන ස්විස් තානාපති කාර්යාලයට අයත් රථයකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියාය.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඇය රැගෙන යනු ලැබුවේ අංගොඩ පිහිටි ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙතයි. පරීක්‍ෂණ කටයුතු සඳහා පැය 03 කට වැඩි කාලයක් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ රැඳී සිටි අදාළ කාන්තාව යළිත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත රැුගෙන යනු ලැබිණි.

මේ අතර නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළේ අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන සැකකරුවකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබාදුන් බවයි.

Share this: