හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසන්නේ, යුද අපරාධ විමර්ශනයක් සඳහා මුහුණදීමට තමා සූදානම් බවයි.
එමගින් නිදොස් බව ඔප්පු කිරීමේ හැකියාව පවතින බව, “ ද ගාර්ඩියන්“ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර ඇත.
තවද තමා හමුදාපතිවරයාව කටයුතු කළ යුදමය වාතාවරණය පැවති සමයේ සමස්තයක් ලෙස යුද හමුදාව යුද අපරාධ නොකළ බවට තමාට සහතික විය හැකි බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.
නමුත් එක් පුද්ගලයෙකු වශයෙන් සැලකීමේ දී තමාට ඒ පිළිබඳ ප්‍රකාශ කළ නොහැකි බව සරත් ෆොන්සේකා මහතා පවසා ඇත.
එමෙන්ම මේ හේතුව නිසා සමස්ත යුද හමුදාවට ස්ත්‍රී දූෂණ හෝ යුද අපරාධ සම්බන්ධ චෝදනා එල්ල කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට හැකියාවක් නොමැති බව හිටපු යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර ඇත.
තවද, ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එහිදි අදහස් පල කර ඇති සරත් ෆොන්සේකා මහතා තමා ඕනෑම අවස්ථාවක දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් බවත්, කිසිදු දිනක රටේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා වීමේ අපේක්ෂාවක් තමාට නොමැති බවත් පවසා ඇත.
මේ සියලු දේ සිදුකරන්නේ තමන් සත් භාවයෙන් යුතුව බවත්, තම රාජකාරිය රටේ භෞමික අඛණ්ඩතාවයට සහ ස්වෛරීභාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කැප කළ බවත්, හිටපු යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.