මෝදීගේ සහබාගිත්වයෙන් තලෙයිමන්නාරම දුම්රිය ගමන් ඇරඹේ

මෝදීගේ සහබාගිත්වයෙන් තලෙයිමන්නාරම දුම්රිය ගමන් ඇරඹේ

හෙට දිනයේ නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිනීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් දුම්රිය සේවාව ආරම්භ කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එනම් මඩු දුම්රිය ස්ථානයේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය කටයුතු ලබන 14 වෙනිදා ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ඊයේ පරීක්ෂණ දුම්රියක් ධාවනය කෙරුනේ මඩු දුම්රිය ස්ථානයේ සිට තලෙයිමන්නාරම දක්වා පමණි.

මන්නාරම දිස්ත්‍රික් ලේකම් එම්.වී.එස්.දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් එම පරීක්ෂණ දුම්රිය ධාවනය කෙරුණු බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

ඒ අනුව මඩු දුම්රිය ස්ථානයේ සිට මුරුන්කන්, තිරුකේදීශ්වරන් සහ මන්නාරම පසුකරමින් පරීක්ෂණ දුම්රිය තලෙයිමන්නාරම දක්වා ගමන් කර තිබේ.

තලෙයිමන්නාරම දක්වා දුම්රිය සේවාව නවතා තිබුනේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් තල් අඩි පාලම බෝම්බ දමා පුපුරවා හැරීම හේතුවෙණි.

පසුව ඉන්දීය ආධාර යටතේ මැදවච්චිය සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කර ලදී.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට දිනයේ දිවයිනට පැමිණීමට නියමිතය.

දිවයිනට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හෙට පස්වරුවේ මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය නිමිත්තෙන් හෙට අලුයම සිට කොළඹ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරක්ෂක වැඩපිළිවෙළ සඳහා පොලිස් නිලධාරීන් දහසක් පමණ යෙදවීමට සැලසුම් කර ඇත.

දිවයිනට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යාපනයේ සහ අනුරාධපුරයේද සංචාරය කිරීමට නියමිතය.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරය නිමිත්තෙන් අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත.

අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් 86 දෙනා වහාම නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

මෙයට සමගාමීව ඉන්දීය අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික ධීරවයින්ද ඉන්දීය රජය මගින් නිදහස් කිරීමට කටයුතු කරනු ඇත.

Share this: