මුස්ලිම් කොංග්‍රසයෙන් තවත් අනතුරු ඇඟවීමක්

මුස්ලිම් කොංග්‍රසයෙන් තවත් අනතුරු ඇඟවීමක්

දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය පරිදි කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෙදීමක් සිදුකරන්නේ නම් නැවතත් අමාත්‍යධූරවලින් ඉවත්වී ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස අසුන් ගන්නා බවට ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබේ.

ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන් යළි අමාත්‍ය ධූරවල දිවුරුම් දුන්නද අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍යවරුන් තිදෙනා නැවත දිවුරුම් නොදුන් හේතුව කල්මුනේ ප්‍රශ්නය බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක යූ.ටී.එම්.අන්වර් මහතා සඳහන් කළේය.

කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රශ්නයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇත්තේ තොටිල්ලත් නළවමින් ළදරුවා ද කොනිත්තන ආකාරයට බවත් එය සිදුනොවිය යුත්තක් බවත් අන්වර් මහතා කීවේය.

කල්මුනේ නගරය මුස්ලිම්වරුන්ගේ පාරම්පරික නගරයක් බවත් මුස්ලිම් ජනගහනයද එහි බහුල බවත් මෙවන් තත්වයක් මැද දෙමළ ජාතික සන්ධානයේ අභිමතය පරිදි කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය බල ප්‍රදේශය බෙදීමක් සිදුකරන්නේ නම් එහි සමස්ත ආධිපත්‍ය මුස්ලිම්වරුන්ගෙන් අහිමි වන බවද කීය.

දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම පරිදි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය මෙම ක්‍රියාව සිදුකරන්නේ නම් නිසැකවම මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීනව කටයුතු කිරීමට සිදුවන බවත් මෙය ජනපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රභූන් සමගින් සිදුකරන ලද සාකච්ඡාවන්හිදී ද අවධාරණය කළ බවත් හෙතෙම කීය.

Share this: