මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් දිවයිනපුරා

මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් දිවයිනපුරා

මේ මස 26 වන දින සිට දිවයිනපුරා මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ බව මුඛ සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේය.

වයස අවුරුදු පහේ සිට හැත්තෑ හතර දක්වා වන පුද්ගලයින් වයස් කාණ්ඩ පහක් යටතේ මෙම සමීක්ෂණය සඳහා යොදාගැනීමට නියමිත අතර, මෙම සමීක්ෂණයේ දී මුඛ සෞඛ්‍ය චර්යා රටාවන්, මුඛ රෝග සහ දත්වල ඇති විකෘති තත්ත්වයන් පිළිබඳව අවධානය යොමුකරන බව වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේය.

සියලුම දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි තෝරාගත් නියැදි යොදා ගනිමින් සිදුකරනු ලබන මෙම සමීක්ෂණය සඳහා පුද්ගලයින් 11,000ක් පමණ යොදාගැනීමට නියමිතය.

තවද, මාස 4ක් වැනි කාලයක් තුළ මෙම මුඛ සෞඛ්‍ය සමීක්ෂණය අවසන් කිරීමට සැලසුම් කර ඇති බව වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Share this: