මිතුන්ගේ ප‍්‍රහාරය හමුවේ බංග්ලාදේශය ගොඩ යයි

මිතුන්ගේ ප‍්‍රහාරය හමුවේ බංග්ලාදේශය ගොඩ යයි

මොහොමඞ් මිතුන්ගේ ප‍්‍රහාරය හමුවේ ජවය ලද බංග්ලාදේශය ඊයේ (23 )දා, පී.සරා ඕවල් ක‍්‍රීඩාංගණයේ පැවැති පෙරහුරු තරගයේදී ශ‍්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම කඩුලූ 05 කින් පරාජය කර දැමුවේය. ශ‍්‍රී ලංකාව සමග එක්දින තරගාවලියට පෙර බංග්ලාදේශය සහභාගි වූ එකම පුහුුණු තරගයද මෙය විය.

මොහොමඞ් මිතුන් සහ මුෂ්ෆිකර් රහිම් සිව්වැනි කඩුල්ලට ලකුණු 96 ක සබඳතාවක් පිහිටුවමින් බංග්ලාදේශ ජයග‍්‍රහණය පහසු කරද්දී මොහොමඞ් මිතුන් පන්දු 100 කදී හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමග ලකුණු 91 ක් ලබා ගත්තේය. මුෂ්ෆිකර් රහීම්, වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ දසුන් ශානකට උඩපන්දුවක් දී පිටියෙන් ඉවත් වන විට පන්දු 46 කදී හයේ පහරක් සහ හතරේ පහර හයක් සමග ලකුණු 50 ක් ලබා සිටියේය.

පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කිරීමෙන් පසුව යළිත් ජාතික පිලේ ස්ථානයක් සොයන අකිල ධනංජයට මෙම තරගයේදී දවා ගත හැකිවූ එකම කඩුල්ල මහමුදුල්හාගේ කඩුල්ල පමණි. අකිල පන්දුවාර 7ක් යවමින් ලකුණු 47 කට එම කඩුල්ල ලබා ගෙන තිබුණි.

බංග්ලාදේශ ජයග‍්‍රහණය වෙනුවෙන් ආරම්භක පිතිකරුවු නායක ටමීම් ඉක්බාල් සහ සෞම්‍ය ෂර්කර් පන්දු 58 කදී ලකුණු 45 ක් ලබා සිටියදී එම සබඳතාවට තිත තැබීමට ළහිරු කුමාර සමත් විය. සෞම්‍ය ෂර්කර් පන්දු 24 කදී ලකුණු 13 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූ අතර යළිත් ක‍්‍රියාත්මක වු ළහිරු කුමාර බංග්ලාදේශ නායකයාගේ ඉනිම පන්දු 47 කදී ලකුණු 37 කට නවතා දැමුවේය.

අවසන් පන්දු 48 දී බංග්ලාදේශයට කඩුලූ හතක් අතැතිව ලකුණු 47 ක් ලබා ගැනීමේ අභියෝගය හිමි වුවද කඩුලූ අතැතිව සිටින ඔවුන්ට එම ඉලක්කය පහසු කරවන්නක් විය. ශ‍්‍රී ලංකා සභාපතිගේ පන්දු යවන්නන්ට 25 වැනි පන්දුවාරයෙන් පසුව කඩුලූ ලබා ගැනීමට ප‍්‍රමාද වීමෙන් බංග්ලාදේශ මැද පෙළ පිතිකරුවන්ට කදිම පෙරහුරුවක් ලබා ගැනීමේ අවස්ථාව හිමිවිය.

කාසියේ වාසිය දිනා ගත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිගේ පිලේ නායක නිරෝෂන් දික්වැල්ල පළමුව පිති ප‍්‍රහාරය දියත් කිරීමට තීරණය කළද ඔහුට මුහුණ දීමට හැකිවූයේ පන්දු 3 කට පමණි. පළමු පන්දුවාරයේදීම දික්වැල්ල දැවී යාමත් සමග පිටියට පිවිසි අංක තුන පිතිකරු ඕෂධ ප‍්‍රනාන්දු පන්දු 14 කට මුහුණ දුන්නද ඔහුට ලබාගත හැකිවූයේ ලකුණු 2 ක් පමණි

ජාතික කණ්ඩායමේ ස්ථානයක් සොයමින් සිටින ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පන්දු 27 කදී හතරේ පහර පහක් සමග ලකුණු 26 ක් ලබා සිටියදී ටස්කින් අහමඞ්ගේ පන්දුවක් හමුවේ පිටියෙන් ඉවත් විය. පළමු කඩුලූ තුනම ලකුණු 32 කදී බිඳ වැටුණද භානුක රාජපක්ෂ සහ ෂෙහාන් ජයසූරිය සිව්වැනි කඩුල්ලට ලකුණු 82 ක සබඳතාවකින් ශ‍්‍රී ලංකා සභාපතිගේ ඉනිම ඔසවා තැබීමට සමත් විය. නැගී එන කණ්ඩායම සමග ඉන්දියානු සංචාරයේදී කැපී පෙනෙන දස්කම් දැක්වූ ෂෙහාන් ජයසුරිය පන්දු 78 කදී හතරේ පහර පහක් සමග ලකුණු 56 ක් ලබා ගත්තේය.

කෙසේ වෙතත් කඩුලූ 6 ක් ලකුණු 146 කට බිඳ වැටී තිබියදී පිටියට පිවිසි දසුන් ශානක පන්දු 63 කදී හයේ පහර හයක් සහ හතරේ පහර හයක් සමග නොදැවී ලකුණු 86 ක් ලබමින් ශ‍්‍රී ලංකා සභාපතිගේ පිල සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ඇදගෙන යෑමට සමත් විය. වනිදු හසරංග පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර තුනක් සමග ලකුණු 28 ක් ලබා ගත්තේය.

ලකුණු තත්ත්වය

ශ‍්‍රී ලංකා සභාපතිගේ පිල පන්දුවාර 50 කදී කඩුලූ 8ට ලකුණු 282 යි. (නිරෝෂන් දික්වැල්ල 00, ධනුෂ්ක ගුණතිලක 26, ඕෂධ ප‍්‍රනාන්දු 02, භානුක රාජපක්ෂ 32, ෂෙහාන් ජයසුරිය 56, ඇන්ජලෝ පෙරේරා 07, දසුන් ශානක නොදැවී 86, වනිඳු හසරංග 28, අකිල ධනංජය 09, අමිල අපොන්සු නොදැවී 13, හොසේන් 31/2, අහමඞ් 57/1, රහමන් 29/1, සෞම්‍ය 29/2 යි.

බංග්ලාදේශ පිල පන්දුවාර 48.1 කදී කඩුලූ 5ට ලකුණු 285 යි. (ටමීම් ඉක්බාල් 37, සෞම්‍ය ෂර්කර් 13, මොහොමඞ් මිතුන් 91, මුෂ්ෆිකර් රහීම් 50, මහමුදුල්හා 33, සබීර් රහමන් නොදැවී 31, මොසාදික් හොසේන් නොදැවී 15, කසුන් රාජිත 57/1, ළහිරු කුමාර 26/2, අකිල ධනංජය 47/1 යි.

Share this: