ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින්ට සැප්තැම්බර් මාසයේ අතීකාල දීමනා වශයෙන් කෝටි 15කට වඩා ගෙවා ඇති බැවින් ඒ සම්බන්ධව වහාම තමන්ට සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයාට අද (19) දැනුම් දුන්නේ ය.
එම සංස්ථාව විසින් කෝටි 15කට අධික විශාල මුදලක් අතිකාල වශයෙන් ගෙවා ඇති අතර අතිරික්ත සේවකයින් විශාල පිරිසක් රාජකාරි නොමැතිව නිකරුණේ සිටියදී එසේ ගෙවීම් කර ඇති බැවින් මේ පිළිබඳව සොයා බැලීමට අමාත්‍යවරයා පියවර ගෙන ඇතැයි විදුලිබල අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
මෙසේ අතිකාල ගෙවා ඇත්තේ සැප්තැම්බර් මාසයේ පමණක් ද නොඑසේ නම් දිගටම මෙවැනි විශාල මුදලක් අතිකාල ලෙස ගෙවමින් සිටින්නේ ද යන්න ගැනත් අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබේ.
ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ මෙහෙයුම් කටයුතු සඳහා ප‍්‍රමාණවත් තරම් සේවක සංඛ්‍යාවක් සිටියදීත් අවිධිමත්ව කළමනාකරණය කිරීම නිසා රජයට ලැබිය යුතු විශාල මුදලක් අහිමි වී ඇතැයි පෙනී යන බව ද හෙතෙම කියාසිටියේය.
එම නිසා මේ සම්බන්ධව සත්‍යතාවය පැහැදිලි කර ගැනීම සඳහාත්, ඉදිරි කටයුතු ක‍්‍රියාත්මක කිරීමට පෙර ඒ පිළිබඳව නිසි අවබෝධයක් ලබාගැනීම සඳහාත් අද දිනය ඇතුළත මෙම වාර්තාව ලබා දෙන ලෙස අමාත්‍යවරයා සාමාන්‍යාධිකාරීවරයාට වැඩිදුරටත් උපදෙස් දී ඇත.