මාලදිවයින් සංචාරයේදී ගිවිසුම් 4කට අත්සන්

මාලදිවයින් සංචාරයේදී ගිවිසුම් 4කට අත්සන්

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතාගේ ආරාධනාවකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන මාලදිවයින් සංචාරයේදි අවබෝධතා ගිවිසුම් හතරකට අත්සන් තැබේ.

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර උසස් අධ්‍යාපන හා ජලසම්පාදන ක්ෂේත්‍රයේ කාර්යන් සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම, වෘත්තීය පුහුණු හා යොවුන් සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළැඹීම, දෙරට අතර වීසා විධිවිධාන පහසු කිරීම පිළිබඳ ගිවිසුමකට එළැඹීම, ළමුන්ගේ, කාන්තාවනගේ, වැඩිහිටි හා ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය ආරක්ෂා කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම යනාදිය අගමැතිවරයාගේ සංචාරයේදි සිදු කෙරේ.

ගිවිසුම් අත්සන් කිරීම සඳහා අදාළ අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවන්ට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර උසස් අධ්‍යාපන හා ජලසම්පාදන ක්ෂේත්‍රයේ කාර්යන් සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශයට අනුබද්ධව උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමෙන් විදේශ විනිමය රට තුළට ලබා ගැනීම, ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා දකුණු ආසියා කලාපය තුළ පුළුල් කිරීම, ජලසම්පාදන ක්ෂේත්‍රයේ ඉංජිනේරු විශේෂඥ දැනුම මාලදිවයින් රාජ්‍යයට ලබාදීම තුළින් ප්‍රතිලාභ අත්කර ගැනීම යනාදිය සිදු වේ.

වෘත්තීය පුහුණු හා යොවුන් සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළැඹීම සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එකී ගිවිසුමට අත්සන් තැබීමට මාලදිවයින් රජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත බලය පැවරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

දෙරට අතර වීසා විධිවිධාන පහසු කිරීම පිළිබඳ ගිවිසුමෙහි යෝජනාව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා වෙත බලය පැවැරීම සඳහා අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලාංකික වැඩිහිටි ප්‍රජාවගේ නිදහස, රැකවරණය, සහභාගිත්වය, අභිමානය ඇති කර ගැනීම සඳහා විවිධ වැඩසටහන් තුළින් ඔවුන් උනන්දු කරලීම, වැඩිහිටියන් සුරක්ෂිත කිරීමට අවශ්‍ය දායකත්වය සැපයීම, ආබාධ සහිත තැනැත්තන්ගේ වෘත්තීය නිපුණතා වැඩිදියුණු කිරීම හා ඔවුන් ස්වාධීන පුරවැසියන් බවට පත් කිරීම යනාදී කාර්යන් කාර්යක්ෂම හා ඵලදායී ලෙස සිදු කිරීම මෙන්ම ළමුන්ගේ, කාන්තාවන්ගේ, වැඩිහිටි සහ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

දෙරටේ මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය සහයෝගිතාව තවදුරටත් පුළුල් කර ගැනීම මේ ගිවිසුම් මඟින් සිදුකෙරේ.

Share this: