එළැඹෙන උත්සව සමයේ වෙළෙඳ පොළට යැවීමට සකස් කරමින් සිටි කල් ඉකුත්වූ බාල වර්ගයේ එළවළු තෙල් තොගයක් වත්තල, මාබෝල ප‍්‍රදේශයේ පිහිටි සත්ත්ව ආහාර නිෂ්පාදනාගාරයක් තුළ අසුරමින් සිටියදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත් අඩංගුවට ගෙන ඇත. මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට හඳුනාගෙන ඇති මෙම තෙල් තොගය වෙළෙඳ පොළට යැවීම සඳහා හිස් බෝතල්වලට අසුරමින් සිටියදී වත්තල මාබෝල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණඩායම විසින් පෙරේදා (04 දා) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
වත්තල, මාබෝල කුකුල් කෑම නිෂ්පාදනාගාරයක් තුළ පවත්වාගෙන ගිය මෙම කල්ඉකුත් වූ තෙල් නැවත පිරවීමේ ජාවාරමට චෝදනා කීපයක් යටතේ නඩු පැවරීමට නියමිතව ඇත.
රටේ ප‍්‍රසිද්ධ වෙළෙඳ නාමයක් සහිත ලේබල් ඇලවූ හිස් බෝතල්වලට පිටින් ගෙන එන ලද කල් ඉකුත්වූ එලවළු තෙල් ඇසිරීමේ ජාවාරම මෙම ස්ථානයේදී සිදු කර ඇත. මෙම තෙල්වල වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ තුනකට අධික යැයි දළ වශයෙන් ගණන් බලා ඇතැයි නිලධාරීන් පැවසීය .
අත්අඩංගුවට ගත් තෙල් තොගයේ ලීටර් 18 කෑන් 09 කුත් ලීටර් 03 කෑන් 39 කුත් තිබූ බව ප‍්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරණ මහතා පැවසීය.
මෙම තෙල් තොගය රත්මලාන ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් ලීටර් 03 ක් සහිත තෙල් කෑන් එක රුපියල් 375 බැගින් ඉතාම අඩු මුදලකට මොහුට අලෙවි කර ඇත. මෙහි නියම වටිනාකම රුපියල් 1400 ක් පමණ වේ. මෙතරම් අඩු මිලකට මොහුට අලෙවි කර ඇත්තේ එය කල්ඉකුත්වූ නිසා යැයි වැටලීම සිදුකළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසීය.
අත්අඩංගුවට ගත් ව්‍යපාරිකයාට 13 දා වත්තල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත. වත්තල නගර සභාවේ ලේකම් ගීතානී දිල්රුක්ෂි ලොකුවැල්ල, ප‍්‍රජා සංවර්ධන නිලධාරී රසික ඇතුළු සෞඛ්‍ය අංශයේ කාර්ය මණඩලය මෙම වැටලීම සිදුකර ඇත.