මාදනී අලුත් නිවහනකට ඇවිත්…

මාදනී අලුත් නිවහනකට ඇවිත්…

ජනාකීර්ණ පැළවත්ත නගරයෙන් මෑත්වුණු අප පිවිසියේ අකුරු ගොඩපාර දෙසටය. ජනාකීර්ණ බව මඟහැරුණු මේ මාවතේ මද දුරක් ගියතැන හමුවන පෞද්ගලික අතුරු මාවත අවසානය දක්වා ගමන් කළ අපට දක්නට ලැබුණේ තවමත් වැඩ අවසන් නොකරන ලද නිවෙසකි. ඒ නිවෙසේ දොරකඩින් මතුවුණේ සුන්දර උවනකි.ඒ ඔබ කවදත් ආදරය කරන මාදනී මල්වත්තගේ රංගන ශිල්පිනියයි.

“ගේ සොයා ගන්න පහසු වුණේ නෑ නේද?“

ඇය පෙර මගට පැමිණෙමින් විමසුවාය.

“ඇත්තෙන්ම නෑ. මේ පාර අවසානයට ආවට පස්සේ නම් පුංචි සැකයක් ඇතිවුණේ අපි ආව පාර හරිද කියලයි.“

මා පැවසුවේ ඒ වනවිටත් මගේ සිතේ පිළිසිඳ ගත් සැකය පිළිබඳ ය. මේ වනවිට ඒ සැක සංකා දුරලමින් අප ඇතුළු වූයේ මාදනී – කීර්ති සොඳුරු කැදැල්ලටය.

“තරමක් වැඩ අවසන් කරා වුවත් තමන්ගේම නිවෙසක ඉන්න එක දැනෙන්නේ කොහොමද?“

මීට පෙර අප ඇගේ කැදැල්ලට පිවිසියේ ඔවුන්ටම හිමිතැනක නොවීම නිසාම මම විමසීමි.

“කාලයක ඉඳලා මගේ සිතේ තිබුණු සිහිනයක් තමයි මේ විදියට සෑබෑ වුණේ. ගිය අවුරුද්දේ පොසොන් මාසයේ විතර අපි අලුත් නිවෙසේ පදිංචියට ආවා. ඒ අපට ඉන්න පුළුවන් තරමට නිවෙසේ කටයුතු කරගෙනයි. ඒත් එහි තවත් ගොඩක් වැඩ කටයුතු කරන්න තිබෙනවා. ඒ වගේම අපට නිවෙසේ නාට්‍යය පුරුදු පුහුණු වෙන්න වෙනම කොටසක් ඇතුළත් කළා. හිතේ තිබුණු මේ සිහිනය සැබෑ කරගන්නයි දැන් නම් අපි පුළුවන් තරම් මහන්සි වෙන්නේ. “

මාදනීගේ ඒ සිහිනය සැබෑ වේවා කියලා නව වසරේ ප්‍රාර්ථනා එකතු කරන ගමන්ම පිළිවෙළකට සකසලා තිබෙන විසිත්ත කාමරය වටේටම මගේ නෙත් ගමන් කළේ සැනෙනි.

“මේ තරම් පිළිවෙළකට නිවෙස තබා ගන්න මහන්සි වෙන්නේ මාදනීමද?“

ඈ කාර්යබහුල රංගන ශිල්පියක් වග අපි දන්න නිසාම විමසුවෙමු.

“මේ නව වසර ආරම්භ කළේ කිරි උතුරලා. මගේ රංගන කටයුතුත් සමඟ නිවසේ කටයුතු පිළිවෙළකට තියාගන්න මට සහය වෙන්නේ කීර්ති තමයි. කීර්තිගේන් ඒ ලැබෙන උදව් නැත්නම් මේ කිසිම දෙයක් මට කරගන්න ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් මගේ රංගන කටයුතුත් ඒ අතර ප්‍රමුඛ වෙනවා. ඒ අතර පුතාගේ කටයුතුත් තිබෙන නිසා තවත් මා කාර්යබහුල වෙනවා. ඒ නිසා නිවෙසේ කෙරෙන වැඩකටයුතු අපි දෙන්නත් එක්ක බෙදාගෙන කරන නිසා කිසිම ගැටලුවක් ඇති වන්නේ නැහැ.“

මාදනීගේ මහත්තයා කීර්තිත් නියැලෙන්නේ කලා කටයුතුවලමය.මේ නිසා ඔහුත් සමඟ ඇය සිය කටයුතු බෙදාහදාගෙන කළ ද මාදනී වඩාත් කැමැත්තක් දක් වන්නේ නිවෙසේ අස්පස් කිරීම් තමන්ගේ දෑතෙන්ම කිරීමටය.

“ඇයි ඔබ එහෙමම හිතන්නේ?“

“මෙහෙම දෙයක් තියෙනවා. නිවෙස අස්පස් කරන කටයුතු කීර්ති කළත්, මගේ අත් දෙකෙන් ඒ කටයුතු කරනතුරු කිසිම අස්වැසිල්ලක් මට නැහැ. දූවිලි පිහදාලා, මකුණු දැල් කඩලා නිවෙස පිරිසිදු කරන කටයුතු වගේම පිළිළෙකට තිබෙන කටයුතුත් කරන්නට මගේ කාර්යබහුල ජීවිතයේ කොහොම හරි මම කාලය හොයා ගන්නවා. යම්කිසි බඩුවක් තිබිය යුතු නියම ස්ථානයක් තිබෙන්න ඕන නිසා ඒ තැන ඒ බඩුව තිබිය යුතුයි කියලා කියන කාරණය මම නිතරම කියන දෙයක්. ඒත් ඒක තමයි අපේ ගෙදර නොවෙනම දේ.“

පිළිවෙළකට වැඩක් කරන්න කැමැති මාදනී සූදානම් වුණේ තමන්ගේ ජීවිතයේ තිබෙන පිළිවෙළ අනෙක් අයටත් උගන්වන්නයි. ඒ ඇගෙන් නිවෙසේ අයට ලැබෙන එක් පාඩමකි. මේ කුමන දේ කළත් මාදනීත් – කීර්තිත් බොහෝ ආදරය කරන පුතාගේ කැමැත්ත පිළිබඳ සිතන එකනම් ඔවුන්ගේ අමතක නොකරන ජීවිතයේ දෙවැනි පාඩමයි.

“පුතා ගැන ගොඩක් සිතනවා වගෙයි“

“එහෙම නැතිව බැහැ. එයා තමයි අපට ඉන්න එකම දරුවා. අපි මේ හැම දෙයක්ම කරන්නේ ඔහු වෙනුවෙන් තමයි. ඒ නිසා පුතාගේ කැමැත්තටයි මූලිකත්වය හිමි වෙන්නේ. විශේෂයෙන්ම එයා කැමැති විශේෂ කෑමක් හදන්න මම අමතක කරන්නේ නැහැ. එයා හැමදාම වුණත් කන්න කැමැති සුදු බත් සමඟ පොල් සම්බෝල මම නිතරම වගේ හදලා දෙනවා. ඒ වගේම පුතා හතුවලටත් බොහොම කැමැතියි. කීර්ති වඩාත් කැමැති මම උයන කරිවිල වෑංජනයටයි. මට නම් විශේෂයෙන් එහෙම මෙනු එකක් නැහැ. හැමදාම මම පාන්දර හතර හමාරට අවදි වෙනවා. ඊට පස්සේ පුතා ඉස්කෝලේ යන නිසා ඉක්මනින්ම එයාට පාසල් අරගෙන යන කෑම හදනවා. හයයි තිහ වන විට එයා ගෙදරින් පිටවෙලා යනවා. ඔහු ඉගෙන ගන්නේ නාලන්දා විද්‍යාලයේ. ඊළඟට එළැඹෙන කාලයේදියි මම ගෙදර කටයුතු වගේම උයන පිහන වැඩ ටික ආරම්භ කරන්නේ. මම වඩාත් කැමැති මගේ අත් දෙකෙන්ම උයන කෑම කීර්තිටත්, පුතාටත් දෙන්නයි. සමහර වෙලාවකදි මම නැති වුණත් කීර්ති උයන කටයුත්ත භාර ගන්නවා. හැබැයි මට වඩා ඔහු උයන කෑම රසයි කියලා මට හිතෙනවා. කීර්තිට රසට උයන්න පුළුවන්.“

මාදනී නොමැති අවස්ථාවල නිවෙසේ බර කරට ගන්නේ කීර්තිය. කරදරයක් කියලා හිතන්නේ නැති ඔහු සියල්ලම ඉටු කරන්නේ සතුටු සිතෙනි.

“රසට උයන්න පුළුවන් කියන ඒ කතාව ඇත්තක් ද?“

අපගේ කතාවට හවුල් වීමට පැමිණි මාදනීගේ සැමියා කීර්තිගෙන් මම විමසුවෙමි.

“අපි දෙන්නාට දෙන්නා හොඳීන් තේරුම් අරගෙනයි ජීවිතය ගෙවන්නේ. ඒ නිසා අප අතර කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ ඉඩක් නැහැ. ගෙදර කටයුතු වුණත් මේ මේ දේවල් මාදනීම කළ යුතුමදේවල්ය, මේ මේ දේවල් සැමියා විදියට මම කළ යුතුම දේවල් යැයි අපි වර්ගීකරණයකට ලක් කරගෙන නැහැ. එහෙම බෙදීමක් අපේ ජීවිතවල නැහැ. ඒ ඒ අවස්ථාවට උචිත ආකාරයට එකිනෙකා කටයුතු කිරීමයි අපේ නිවෙසේ සිදු වෙන්නේ. මේ හේතු නිසා මාදනී නිර්මාණ කටයුතුවලට ගිය සමහර දවසක උයන පිහන කටයුත්ත මට පැවරෙනවා. ඒ මට පැවරුණු වගකීම බොහොම හොඳීන් කරනවා. එහෙම ඉඳලා හිටලා උයන කෑමක් තමයි ඔය රසයි කියලා මාදනී කියන්නේ. කෙහොමත් ම මට රසට උයන්න ඒ කාලයේ ඉඳලා පුළුවන්.“

බොහෝදේ පැහැදිලිව තේරුම් බේරුම් කරදීමට කීර්ති හපනෙකි. ඔවුන් දෙදෙනා මෙන්ම ශනිඳු තේමිය පුතුත් කලාවට දක්වන්නේ අපූරු ඇල්මකි. එහෙත් පළමුව ඉගෙනීමට මුල්තැන දිය යුතු බව ඔවුන් අදහස් කරන්නේ එක් සිත්වය.

“පුතාගේ ඉගෙනීම් කටයුතු ගැන ඔබ දෙපළම උනන්දු ද?“

“පුතාගේ ඉගෙන ගැනීමේ කටයුතුවලට මට වැඩිය උනන්දු වෙන්නේ මාදනී තමයි. පුතා පුංචි කාලයේ නම් වැඩ ගොඩක් එයාට පැවරුණා. දැන් පුතා ටිකක් ලොකු නිසා ඒ තරමටම වැඩ ගොඩක් මාදනීට පැවරෙන්නේ නැහැ. මාදනී ගෙදරට වෙලා ඉන්නවා නම් පුතා ඉතින් අම්මාගේ ළඟින් හෙලවෙන්නේ නැහැ. ඇගේ ඇඟේ දැවටි දැවටි ඉන්නවා තරම් සතුටක් පුතාට නැහැ. මමත් ඉතිං පුතාව පන්ති අරගෙන යන කටයුතුවලට උදව් වෙනවා.“

ඔවුන් අතරට ආව ……. පුතු අම්මාත්, තාත්තාත් අතරට පැන්නේ කාලයකට පස්සේ දෙන්නාම නිවෙසේ සිටින දවස අද කියලා කියන්නා සේය.

“ඉඳලා හිටලා ලැබෙන විවේකය කොහොමද ගත කරන්නේ?“

“ බොහොම දුරක නම් ඇවිදින්න යන්න වෙලාවක් අපට ඇත්තේ නැහැ. වැඩිපුරම දියතට තමයි අපි තුන්දෙනා යන්නේ. අදත් මේ කුරු කුරු ගාන්නේ ඒකට තමයි.“

ආදරයෙන් සිය පුතු වැළඳ ගන්න ගමන් මාදනී කීවාය. කාලයකට පස්සේ උදාවුණු නිවාඩුව අර්ථවත් විදියට ගත කරන්න ඔවුන්ට ඉඩහළ අපි ඒ සොඳුරු කැදැල්ලෙන් සමුගත්තෙමු.

තිලානි ශානිකා විතානාච්චි

Share this: