මාතරටත් ජංගම හැදුනුම්පත් සේවයක්

මාතරටත් ජංගම හැදුනුම්පත් සේවයක්

ජාතික හැදුනුම්පත් හෝ වෙනත් අනන්‍යතා සහතික නොමැති පුද්ගලයින්හට පහසුකම් සැලසීමේ අරමුණින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වන ජනතා ව්‍යාපාරය (කැෆේ සංවිධානය) සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය එක්ව මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ දෙකක ජංගම සේවාවේදී පුද්ගලයින් රැසකට සේවා සපයා තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කාර්යාල වලදී පසුගිය 14 සහ 15 වනදා මෙම ජංගම සේවය පැවැත්විණ.

පෙබරවාරි 14 කොටපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවති ජංගම සේවය මඟින් කොටපොල ප්‍රාදේහිය  ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 37 ක ජනතාවට සේවා සපයා තිබේ.

එමෙන්ම පෙරවාරි 15 වනදා පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී එම කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 40 ක ජනතාවට ජාතික හැඳුනුම්පත් ඇතුළු අනන්‍යතා සහතික ලබාදීමට හැකියාව ලැබිණ.

ලබන අප්‍රේල් මස පැවැත්වීමට සැලසුම් කර ඇති මහමැතිවරණයේදී ඡන්දය දීමට සුදුසුකම් ලබා ඇති නමුත් පිළිගත් අනන්‍යතා පත්‍රයක් නොමැති පිරිස් වෙත පහසුකම් සැපයීම සදහා මෙම ජංගම සේවය ක්‍රියාත්මක කෙරිණ.

මෙහිදී පොලිස් සහතික ලබාගැනීම, ඡායාරූප ලබාගැනීම, උප්පැන්න පිටපත් ලබාගැනීම ආදී සියලු කටයුතු සඳහා වන වියදම ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් සිදු කර තිබේ.

කැෆේ සංවිධානය ශ්‍රි ලංකා මානව හිමිකම් කේන්ද්‍රය උතුරු නැගෙනහිර ඇතුළුව දිවයිනේ විවිධ පළාත්වල මෙම ජංගම සේවා ක්‍රියාත්මක කර ඇති අතර ඒවා මගින් පුද්ගලයින් ලක්ෂයකට ආසන්න පිරිසකට අනන්‍යතා පත්‍ර ලබාගැනීමට පහසුකම් සලසා තිබේ.

Share this: