‘මහ බැංකුවේ  වංචාවක් සිදුවූ බවට කෝප් කමිටුවේ  සාක්ෂි තිබෙනවා‘ – සුනිල් හඳුන්නෙත්ති

‘මහ බැංකුවේ වංචාවක් සිදුවූ බවට කෝප් කමිටුවේ සාක්ෂි තිබෙනවා‘ – සුනිල් හඳුන්නෙත්ති

ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසන්නේ, මහ බැංකුවේ මහා මූල්‍ය වංචාවක් සිදුවුණු බවට කෝප් කමිටුවේ ලිඛිත සාක්ෂි තිබෙන බවත් දින සියයේ ආණ්ඩුවක් කළ එක්සත් ජාතික පක්‍ෂය ඒපිළිබඳ දරණ මතය කුමක් දැයි අනුවෙනි.

අද(02) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු තවදුරටත් කියා සිටියේ,

“මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර මූල්‍ය වංචාව පිළිබඳව කෝප් කමිටුවේ පරීක‍්ෂණයක් පැවැත්වුණා. මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් මුලින්ම රටට හෙළි කළේ ජනතා විමුක්ති පෙරමුණේ අපියි. ඉන් පසුව මේ සම්බන්ධයෙන් විශේෂ පරීක‍්ෂණයක් අවශ්‍ය බව ආණ්ඩුවට අවධාරණය කළේත් අපියි. මෙම මූල්‍ය වංචාව පිළිබඳව අගමැතිවරයා විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව පදනම් කරගෙන ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ පරීක‍්ෂණයක් කළ යුතු බවට කථානායකවරයා විසින් තීරණය කළා.
පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව තුළ මේ සම්බන්ධයෙන් පරීක‍්ෂණ යන අතරතුර ඒ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරන්න පුළුවන්කමක් එහි සාමාජිකයන්ට නැහැ. කෝප් කමිටුවේ සාමාජිකයින් ලෙස අපි කෝප් කමිටුවේ තොරතුරු රටට ආවරණය නොකර සිටීමට බැඳී සිටිනවා.

නමුත් මෙම පරීක‍්ෂණය ආරම්භයේදී අපි කියා සිටියා දේශපාලන වුවමනාවන්ට අනුව මෙම කෝප් කමිටුවේ වාර්තාව හරියට ඉදිරිපත් වුණේ නැත්නම් ඒ සම්බන්ධයෙන් සියලූ තොරතුරු රටට හෙළිදරව් කරනවා කියලා. මන්ද, අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට පාර්ලිමේන්තුව හරහා රටේ ජනතාවට වගකියනවා.

අපි වගකියන්නේ අපේ සහෝදර සහෝදරියන්ට, නෑදෑයන්ට, හිතමිතුරන්ට නොවේ. කෙසේ වෙතත් කෝප් කමිටුව මගින් පාර්ලිමේන්තුවට මෙම මූල්‍ය වංචාව පිළිබඳව නිවැරදි ලෙස කරුණු ඉදිරිපත් කිරීමට අසමත් වුණා. මොකද, සමහරු මෙම කෝප් කමිටුවේ වාර්තාව දිහා තමන්ගේ දේශපාලන පක‍්ෂ කෝණයෙන් බැලූවා.

මෙම මූල්‍ය ගනුදෙනුවේදී කොයි තරම් දූෂණයක්, මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුවුණාද කියලා මේ රටේ බදු ගෙවන ජනතාවට සිදුවුණු විශාල හානියක් මට පෙන්වන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් සියලූ වාර්තා මගේ ළඟ තියෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කෝප් කමිටුව දින 12ක් කැඳවලා තිබුණා. මහ බැංකු අධිපතිවරයා, මහ බැංකුවේ නිලධාරීන් මෙම බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ තැරැව්කරුවන්, ලංකා බැංකුව ඇතුළු අනෙකුත් මූල්‍ය ආයතනවලින් කෝප් කමිටුවේ සාමාජිකයින් විසින් අසන ලද වාචික ප්‍රශ්නවලට ලබාදුන් වාචික පිළිතුරු සහිත සාක‍්ෂි වාර්තා අපි ළඟ තිබෙනවා. මෙම මූල්‍ය ගනුදෙනුව පිළිබඳව සිදුකළ දුරකථන සංවාද පවා එම සමාගම්වලින් කෝප් කමිටුව මගින් ලබාගෙන තිබෙනවා.‍

මෙම මූල්‍ය ගනුදෙනුවේදී අක්‍රමිකතාවයක් සිදුවෙලා නැහැ කියලා මහ බැංකු අධිපතිවරයා පත්කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක‍්ෂයේ අය කියනවානම් ඒ අයට මේ වාර්තා කියවලා බලන්න පුළුවන්. මොකද, එම මූල්‍ය වංචාව මේ වනවිටත් කරුණු සහිතව ඔප්පු වෙලා ඉවරයි. “ යනුවෙනි.

Share this: