තමාගේ කීර්තිනාමයට හානී සිදුවන ආකාරයේ අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා කරමින් රුපියල් කෝටි 100ක වන්දියක් ලබාදෙන ලෙස ඉල්ලා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එන්තරවාසියක් යොමුකර තිබේ.
පසුගිය මැයි මස 7 වැනිදා මංගල සමරවීර අමාත්‍යවරයා විසින් කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවේ දී හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අසත්‍යය සහ ද්වේශ සහගත ප්‍රකාශයන් සිදුකර ඇති බව ඔහුගේ නීතීඥ අතුල ප්‍රියදර්ශන ද සිල්වා මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ උදවිය විසින් සොරකම් කර ඇති බවටත්, හිටපු ජනාධිපතිවරයාගේ සහ පවුලේ සාමාජිකයින්ගේ වත්කම රුපියල් බිලියන 18ක් පමණ වන බවත්, ශ්‍රී ලංකාවේ පළමු වැනි ට්‍රිලියනපතියා හිටපු ජනාධිපතිවරයා බවත්, මංගල සමරවීර අමාත්‍යවරයා විසින් එහිදී ප්‍රකාශ වී ඇති බව සඳහන්ය.
නීතීඥ අතුල ප්‍රියදර්ශන ද සිල්වා මහතා පෙන්වාදෙන්නේ, මංගල සමරවීර මහතාගේ අදාළ ප්‍රකාශ තම සේවාදායකයා හට අපහාස කිරීමේ සහ අපකීර්තියක් ඇති කිරීමේ අරමුණින් සිදුකර ඇති බවයි.
මේ හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට සිදුවු පාඩුව ගණනය කළ නොහැකි වුව ද නෛතික අවශ්‍යතාවන් සඳහා එම පාඩුව රුපියල් කෝටි සියයකට තක්සේරු කර ඇති බව නීතීඥවරයා පවසයි.
ඒ අනුව එන්තරවාසිය යොමුකළ දිනයේ සිට දින 21ක් ඇතුළත අදාළ මුදල තම සේවාදායකයා හට ගෙවන ලෙස නීතීඥ අතුල ප්‍රියදර්ශන ද සිල්වා මහතා මංගල සමරවීර අමාත්‍යවරයාට දැනුම් දී ඇති, අතර, එම මුදල අදාළ කාලය තුළ ගෙවීමට අපොහොසත් වුවහොත් ඊට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද නීතීඥවරයා යොමුකළ එන්තරවාසියේ සඳහන්ය.