මහින්ද අගමැතිවීමට හීන දකිනවා

මහින්ද අගමැතිවීමට හීන දකිනවා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ඇති බවත්, අගමැතිවීමට උත්සාහදැරීම හීනයක් බවත්ය.

අද (13) කොළඹ පදනම් ආයතනයේ පැවති “යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ” මෙවර මහමැතිවරණය වෙනුවෙන් පැවති අවසන් මාධ්‍ය හමුවට එක්වෙමින්, රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ මෙවර ලංකාවේ පැවැත්වෙන්නේ සාමකාමී මැතිවරණයක් බවත්, ජනමාධ්‍ය පවා පක්ෂග්‍රාහී නොවී කටයුතු කරන තත්ත්වයක් දක්නට ලැබෙන බවත්ය.

මෙම රජය දූෂණය නාස්තිය නැති කර ඇති බවත්, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම සඳහා මුල් පියවර තැබූ බව වික්‍රමසිංහ මහතා පැවසිය.

තම රජය මාස 60 න් අලුත් රටක් නිර්මාණය කරන බවත්, එහිදී ලියන්නට කියන්නට නිදහසක් ලැබෙන ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් සුරක්ෂිත කෙරෙන බවත් ඔහු සඳහන් කළ අතර, එකම පවුලකට බලය හිමිවීම වෙනුවට හැමෝටම බලය හිමිවන රටක් ගොඩනැඟීම තම අරමුණ බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට එක්වුණු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ මහින්ද හුළඟක් හමන බවට කීවද මේවන විට ජනාධිපති මෛත්‍රීගේ ඡායාරූප සහිතව දැන්වීම් පළකිරීමට සන්ධානයට සිදුව ඇති බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විකුණා බලය ලබාගැනීමට ඔවුන් මේවන විට උත්සාහ දරන බව සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවට එක්වුණු අර්ජුණ රණතුංග මහතා කියා සිටියේ එළඹෙන 17 වන දාට අශීලාචාර දේශපාලනයට තිත තබා නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කරන බවයි.

Share this: