මහින්දවාදියෝ අද කොන්වෙලා

මහින්දවාදියෝ අද කොන්වෙලා

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසන්නේ, පසුගිය මහ මැතිවරණයේදී පාඨලී චම්පික රණවක මහතා එක් මනාපයක් වෙනුවෙන් රුපියල් 1400ක් වියදම් කර ඇති බවයි.

නමුත් එක මනාපයක් ගැනීමට තමන් වැය කළේ රුපියල් 63ක් වැනි සුළු මුදලක් බවද ඒ මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කියා සිටියේය.

තවද ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීම ගැන ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මන්ත්‍රීවරයා ඉහත අදහස් පළ ක‍ළ අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත්, දැනට කරන දේවල් කියන්න බැරි බවත්, හෙතෙම පැවසීය.

එසේම පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීම ගැන අවධානය යොමුව ඇති බවද පැවසූ මන්ත්‍රීවරයා ඉදිරියේදී ඒ ගැන තීරණයක් ගන්නා බව පැවසුය.

අධ්‍යාපන හා මහමාර්ග, ක්‍රිස්තියානි හා සංචාරක, තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු යන අමාත්‍යංශ විද්‍යාත්මක ක්‍රමයකට පිහිටුවා නැතැයිද කියා සිටි ඒ මහතා ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල දැන් සීඝ්‍රයෙන් පහත වැටී ඇති බැවින් එහි වාසිය ජනතාවට ලබාදෙන ලෙසද රජයෙන් ඉල්ලීමක් කළේය.

එම මාධ්‍ය හමුව ඇමතු බියගම සුසිල හිමියන් කියා සිටියේ “මහින්දවාදියෝ අද කොන්වෙලා” යැයි චම්පික රණවක මහතා පවසා ඇති අතර, ඔහු ගැන අපිට අමුතුවෙන් කිව යුතු නැති බවත්, රණවක මහතා ළඟ දැන් සිංහල – බෞද්ධ ලේබලය නැති බවත්, හෙතෙම දැන් කටයුතු කරන්නේ අන්තවාදීන් පිරිසක් සමග බවත්, උන්වහන්සේ පැවසුවේය.

තවද යුද අපරාධ චෝදනා එල්ල වන සෙබළුන් සඳහා නීති සහන සැලසීමට කටයුතු යොදා ඇතැයි එම මාධ්‍ය හමුවට එක්වූ පිවිතුරු හෙළ උරුමයේ සාමාජික තුෂාර දිසානායක මහතා පැවසීය.

එමෙන්ම එකී සෙබළුන්ට රණවිරු නීති සහන පදනම, 133ඒ පාගොඩ පාර, පි‍ටකෝට්ටේ යන ලිපිනයෙන්ද, දුරකථන අංක 0113 – 357 666 මගින්ද තොරතුරු ලබාගත හැකි බව ඔහු පැවසුහ.

Share this: