මරණ දඬුවම අවශ්‍ය නෑ – නතාෂා බාලේන්ද්‍ර

මරණ දඬුවම අවශ්‍ය නෑ – නතාෂා බාලේන්ද්‍ර

ජාතික ළමා රක්‍ෂක අධිකාරියේ සභාපති ආචාර්ය නතාෂා බාලේන්ද්‍ර මහත්මිය පවසන්නේ, ළමයින්ට එරෙහි අපරාධ වළක්වාලීම සඳහා මරණ දඬුවම අවශ්‍ය නොවන බවයි.

කොළඹ අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවකදී, ඇය මේ බව කියා සිටියේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනයෙන් පසු මතු වී ඇති සංවාදය පිළිබඳව අදහස් දක්වමිනි.

ළමා අපරාධකරුවන්ට එරෙහි දඬුවම් ලබාදීමට දැනට ඇති නීතිය ප්‍රමාණවත් බවත්, දූෂකයෙකුට ඒ අනූව උපරිම වසර 20ක සිරදඬුවමක් ලබාදිය හැකි නීතිමය තත්ත්වයක් පවතින බව ද ඇය සිටි අතර, මෙවැනි සිද්ධි වැළැක්වීමට මරණ දඬුවම යොදා ගැනීම සාර්ථක වී නොමැති බව ජාත්‍යන්තර පරීක්ෂණ මගින් ඔප්පු වී ඇති බවද පැවසූ ඇය මරණ දඬුවම් ලබාදීමෙන් සමස්ථ සමාජයේම මනුෂ්‍යත්වයට සිදු කරන හානියක් බවද පෙන්වාදුන්නාය.

තවද කෙසේ වුවද ළමා අපචාර සම්බන්ධයෙන් පවතින නඩු කඩිනමින් අවසන් නොවීම ගැටළුවක් බවද කියා සිටි ඇය ළමයින් සම්බන්ධයෙන් කි‍්‍රයාකරන නිලධාරින්ට විශේෂ පුහුණුවක් ලබාදිය යුතු බවද ප්‍රකාශ කළාය.

මේ අතර සේයා සදෙව්මි දැරිය බරපතළ ලිංගික අපයෝජනයකට ලක්ව අමානුෂික ඝාතනයක ගොදුරක් බවට පත්වීමෙන් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව පාරට බැස මෙවැනි අපරාධකරුවන්ට මරණ දඬුවම ලබාදෙන ලෙස රජයට බලකරන අයුරුද මේ දිනවල දක්නට ලැබේ.

Share this: