මම මාතර මිනිහෙක් – ඇමරිකන් කාරයෙක් නොවෙයි

මම මාතර මිනිහෙක් – ඇමරිකන් කාරයෙක් නොවෙයි

පොහොට්ටුවේ ජනපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ

- මම මේ රටේ මාතර ඉපදුණු පුද්ගලයෙක් මිස ඇමරිකානු පුරවැසියෙක් නොවන බවත්, පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් සිටින මෙවැනි අවස්ථාවක ප්‍රතිවාදීන් අභූත චෝදනා එල්ල කරමින් ජනතාව නොමඟ යවමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ‘සාර්ථක දැක්මක් – වැඩ කරන රටක්’ යන තේමාව ඔස්සේ මාතර, ගාල්ල සහ කැස්බෑව යන ප්‍රදේශවල ඊයේ (13 වැනිදා) සංවිධානය කර තිබූ ජනහමු අමතමින් එසේ පැවසූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙසේද කීවේය.

ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවේ කියා විරුද්ධවාදීන් විවිධ ප්‍රචාර ගෙන යනවා. මම මාතර පාලටුවේ ඉපදුණු කෙනෙක්. අභූත චෝදනා නඟමින් රටේ ජනතාව නොමඟ යවමින් සිටිනවා. අපි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න හැදුවා. විරුද්ධවාදීන් ගැන නෙමෙයි අපි කතා කළේ. අවාසනාවකට සමාජයට විවිධ අභූත චෝදනා එල්ල කරමින්, මඩ ගසමින් වෙනත් ආකාරයක මැතිවරණ ව්‍යාපාරයක නිරතව සිටිනවා.

රට නඟන සෞභාග්‍යයේ දැක්ම අපි ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය වසර ගණනාව තුළ රටේ විද්වතුන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් විසින් සකස් කළ වැඩසටහනක් ලෙස තමයි අපි ප්‍රතිපත්ති ප්‍රකාශය සැලසුම් කළේ. රටේ ස්වෛරීභාවය ආරක්‍ෂා කරන්න, රටේ ජනතාව ආරක්‍ෂාව තහවුරු කරන්න ප්‍රතිඥා දී තිබෙනවා. අපි පැහැදිලි වැඩසටහනක් ඉදිරිපත් කළා රටේ ආර්ථිකය ගොඩනඟන්න. ජනතාව ජීවත් කරවන්න ජනතා කේන්ද්‍රීය වැඩසටහනක් යෝජනා කර තිබෙනවා. රටේ සෑම කෙනෙක්ගේම ජීවන තත්ත්වය නඟාසිටුවීමට අපි ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.

වසර තිහක යුද්ධයක් එදා අපි කෙටි කාලයකින් අවසන් කළා. රටට සාමය උදා කළා. ඒ තුළින් විශාල සංවර්ධනයක් රටේ ඇති කරන්න හැකියාව ලැබුණා. දෙස් විදෙස් ආයෝජකයන් දිරිගන්වන්නට කටයුතු කළා. අද කොළඹ නගරයේ දක්නට ලැබෙන සියලුම ව්‍යාපෘති ඇති කළේ මහින්ද රාජපක්‍ෂ රජයයි. ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වන නගරය කොළඹ බවට පත් කරන්නට හැකි වුණා. මේ දියුණුව නිසා ව්‍යවසායකයන්ට හොඳ අවස්ථාවක් ලැබුණා. රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය කළා. නමුත් මේ රජය භාර ගත්තට පසුව සංවර්ධන කටයුතු නතර වුණා. ව්‍යාපාර නැති වුණා.

බුද්ධි අංශය, පොලිසිය, ආරක්‍ෂක හමුදා ශක්තිමත් කළා. සම්බන්ධීකරණය කළා. විශේෂයෙන්ම බුද්ධි අංශවලට පුහුණුවක් දුන්නා. අපි ත්‍රස්තවාදය නැති කරන්න ආරක්‍ෂක අංශ යොදා ගත්තා. නමුත් මේ රජය ආරක්‍ෂක අංශ දුර්වල කළා. රණවිරුවන්ව හිරේ දැම්මා. ජාත්‍යන්තර අධිකරණවලට යවන්න උත්සාහ ගත්තා. පොලිසියේ දක්‍ෂ නිලධාරීන් හිටියා. ඔවුන්ව වෙනත් තැන්වලට මාරු කරලා දේශපාලන විරුද්ධවාදීන් පසුපස යවන තත්ත්වයට පොලිසියට පත් කර ගත්තා. රටේ බෝම්බ පුපුරණ තත්ත්වයකට රට පත් කළේ, ජනතාව අතර අවිශ්වාසයක් ඇති වුණේ මේ රජය නිසයි. ආණ්ඩුව ජාතික ආරක්‍ෂාවට කිසිදු ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ..

අපි බිහි කරන රජයක් තුළින් ජාතික ආරක්‍ෂාව තහවුරු කරනවා. කිසිදු අන්තවාදයක් ත්‍රස්තවාදයක් ඇති නොවෙන්න ඉඩ දෙන්නේ නැහැ. දූ දරුවන්ගේ අනාගත ආරක්‍ෂාව භාර ගන්නවා. පිරිසිදු ගුණාත්මක ප්‍රතිඵල ගෙනෙන රාජ්‍ය පාලනයක් රට තුළ ස්ථාපිත කරනවා. අද කිසිම ඇමැතිවරයෙක් දන්නේ නැහැ තමන් මොනවද කරන්නෙ කියලා. සමස්ත රාජ්‍ය පාලනයම කඩාවැටිලා. සංවර්ධනය නතර වුණා. එදා ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට සම්බන්ධව

රැකියා ලක්‍ෂ හතරක් අහිමි වුණා.

ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් මේ රටේ මානව සම්පත දියුණු කරන්න ප්‍රමුඛත්වයක් දී තිබෙනවා. ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් විශාල ආයෝජනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්දියාව, චීනය අද ඉහළට ගිහින් තිබෙන්නේ තාක්‍ෂණය අතින් ඉහළ නිසයි. අද මේ තත්ත්වයට පත්ව තිබෙන්නේ අධ්‍යාපනයේ තිබෙන වැරදි නිසයි. අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුව තිබෙනවා. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන්නේ සීමිත පිරිසක් පමණයි.

මේ සියලුම තරුණ තරුණියන්ව විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර

ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරනවා. විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරලා, ආචාර්ය මණ්ඩලය වැඩි කරලා සමත් වන සියලුම දෙනාට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙනවා. ඒ වගේම තරුණ තරුණියන්ට පාඨමාලා හඳුන්වා දීලා, වෘත්තීය පුහුණුවක් ලබාදීලා හොඳ වේතනයක් ලැබෙන

රැකියා අවස්ථා උදාකරනවා. පෞද්ගලික අංශයේද සහාය මේ සඳහා ලබා ගන්නවා.

රටේ ජනතාව දුප්පත්කමින් මුදවා ගැනීමට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් අපි ඇති කරනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉදිරිපත් කළ සියලුම දේවල් සිය ධූර කාලය අවසන් වීමට පෙර ඉටු කරනවා. අපි හැමදාම කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වයක් දුන්නා. කෘෂිකර්මාන්තය ඉදිරියට ගෙන යෑමට පොහොර සහනාධාරය දුන්නා.

ඉදිරියේදී පොහොර නොමිලේ ලබා දෙනවා. ණය කපා හරිනවා. පොහොර කළමනාකරණය තුළින් ගොවීන්ට වැඩි අස්වැන්නක් ලබාගත හැකි ක්‍රම හඳුන්වා දෙනවා. ගොවියා දුප්පත්කමෙන් ඉහළට ගන්න සැලසුම් සකස් කර තිබෙනවා. වැවිලි කර්මාන්තවලින් වසර

ගණනාවක්ම විශාල විදේශ විනිමයක් ලබා ගත්තා. නවීන තාක්‍ෂණය අපි ගොවීන්ට හඳුන්වා දෙනවා.

මහින්ද රාජපක්‍ෂ රජය තමයි ධීවර කර්මාන්තය දියුණු කළේ. ඉදිරියේදී ධීවර කර්මාන්තයට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා. ධීවරයන්ට නවීන තාක්‍ෂණය හඳුන්වා දෙනවා. ඒ සඳහා අවශ්‍ය සියලුම රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා වගේම ධීවර ක්‍ෂේත්‍රයට සම්බන්ධ තරුණයන් සියලුම දෙනාම ව්‍යවසායකයන් බවට පත් කරනවා.

අද වැවිලි කර්මාන්තය කඩාවැටිලා. තේ ගොවියා, කර්මාන්ත ශාලා කඩාවැටිලා. බාල තේ පිටරටින්වලින් ගෙනැත් අපේ හොඳ තේ පිටරට යැව්වා. අපි තේ කර්මාන්තය නැවතත් බිලියන 10 ක කර්මාන්තයක් බවට පත් කරනවා. ගුණාත්මක තේ පමණක් පිටරටට යවන්න කටයුතු කරනවා. සිලෝන් තේ නාමය නැවතත් ලෝකයේ ප්‍රචලිත කරන්න ක්‍රියා කරනවා.

රබර් ආශ්‍රිත කර්මාන්ත ඇති කරන්න

දිරිගන්වන්නට අවශ්‍යයි. පොල් කර්මාන්තය හරහා පොල් වතුරවලට, පොල් තෙල්වලට, කොහුවලට විශාල ඉල්ලුමක් තිබෙනවා. වැවිලි කර්මාන්තය දියුණු කරන්න වැඩපිළිවෙළක් තිබෙනවා. ගම්මිරිස්වලින් විශාල අදායමක් ලැබුවා. ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්ට බාල ගම්මිරිස් පිටරටින් ගෙන්වන්න මේ රජය කටයුතු කළා. ගම්මිරිස්

ගොවීන් අසරණ වෙලා. කුරුඳු වගාව දියුණු කරනවා. රජයක් මේවා තමයි කරන්න ඕන.

දේශීය ව්‍යාපාරිකයා කඩාවැටිලා. අසීමිත ලෙස බදු අය කරනවා. අපි සංකීර්ණ ක්‍රමය සරල කරනවා. වැට් බද්ද සියයට 8 ක් දක්වා අඩු කරනවා. මේ අනුව අපි ආර්ථිකය දිරිගන්වන්න කටයුතු කරනවා.

පාරිභෝගිකයන්ගේ වැට් බද්ද අඩු කරනවා. මධ්‍යම පාන්තිකයා වෙනුවෙන් විදුලි, ජල, ගෑස්වලට සහන ලබා දෙනවා.

රටවල් දියුණු වෙලා තිබෙන්නේ තාක්‍ෂණය භාවිතා කරන නිසයි. ලක්‍ෂ තුනක රැකියා අවස්ථා ලබාදීමට තොරතුරු තාක්‍ෂණය දියුණු කරනවා. තොරතුරු තාක්‍ෂණ අංශයෙන් තරුණ තරුණියන් පුහුණු කරලා හොඳ වේදතනයක් ලැබෙන පරිදි රැකියා අවස්ථා බිහි කරනවා. අද උපාධිධාරීන් පනස්හතර දහසක් ඉන්නවා

රැකියා නොමැතිව. රැකියා නොමැති තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබා දෙනවා. අධ්‍යාපන සුදුසුකම් බලා වෙනුවට නිපුණත්වයක් සහිත තරුණ තරුණියන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කරනවා. අපි වැඩක් කළ කණ්ඩායමක්. අභියෝග වගකීම් භාරගත්තා. ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න, මම මගේ යුතුකම ඉටු කරනවා.

හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා -

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට රටේ පුරවැසිකම තිබෙනවාද කියලා අහනවා. මේ පාලටුවේ ඉපදුණු එතුමාට වෙන රටක පුරවැසිකමක් ඕනද? ඉතිහාසයේ පළමු වතාවට ප්‍රතිවාදීන් ජනතාවට එකක් කියනවා. මැතිවරණ ප්‍රකාශයෙන් වෙනත් දෙයක් කියනවා. ආණ්ඩුව බොරු ප්‍රචාර ගෙනයමින් ජනතාව නොමඟ යවමින් සිටිනවා.

සජිත් රෑට රෑට එබිලා බලනවලු. අපේ ගෙවල්වලටත් එයිද දන්නෙ නැහැ. මේ වගේ විහිලු කරනවා. දැන් හිස දන්දෙනවලු. සිරිසඟ බෝ හිස දන් දුන්නාම රජ වුණේ

ගෝඨාභයයි. ඔහුට ඉතිහාසයත් උගන්වන්න වෙනවා. අනවශ්‍ය කතා කියනවා. ඔහු රටේ පහළ තලයටයි කතා කරන්නෙ කියලා හිතනවා.

අපි කළ වැඩ හැර මේ ආණ්ඩුව කළ එක වැඩක් තිබෙනවාද? අපේ ව්‍යාපෘති නතර කළේ කවුද? අලුත් නගර, රෝහල් ඇතුළු නොයෙක් වැඩපිළිවෙළවල් අපි එදා කළා. අද මේ සියල්ලක්ම නතර වෙලා. අපිත් එක්ක තියෙන තරහටයි ව්‍යාපෘති නතර කළේ.

ආණ්ඩුව ආ දවසෙම මහ බැංකුව කොල්ලකෑවා. කසළ කඳු කඩාවැටුණා. නියඟ ආවා. ස්වභාවික විපත් වැඩි වුණා. කෘෂිකර්මාන්තය කෙරෙහි අවධානයක් යොමු කළේ නැහැ. දැන් පිටරටින් ගේන මාලුවලට බදු අයින් කළා. එහෙම කළේ ධීවරයන් සමඟ තිබෙන තරහටයි. දේශීය ධීවරයාගේ මාලුවලට මිලක් නැහැ.

අපි පොහොර සහනාධාරය දුන්නා. ඉදිරියේදී නොමිලේ ලබා දෙනවා.

ගම්මිරිස්වලට මොකද අද වෙලා තිබෙන්නේ? අපි මේවා කියන්න ඕන නැහැ. ඇත්ත තත්ත්වය රටේ ජනතාව දන්නවා. අපට හොඳ නායකයෙක් ඉන්නවා. හොඳ කණ්ඩායමක් ඉන්නවා. 16 වැනිදාට උදෙන්ම ගිහින් පොහොට්ටුවට කතිරය ගහන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි -

මේ රට දියුණු කරන්න අවුරුදු පහකින් පුළුවන්. ගෝඨාභය මහතාට දැක්මක් තිබෙනවා. ජනතාව කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් එතුමා සතුව තිබෙනවා. මේ රට සශ්‍රීක භූමියක් බවට පත් කර ගන්න අපි සූදානම්. වස විසෙන් තොර පරමාදර්ශී රටක් බවට පත් කරනවා.

සජිත් ප්‍රේමදාස මහතා දැන් සපත්තු සෙරෙප්පු දෙනවා කියනවා. දිළිඳුකම නැති කරන්න එතුමාට කිසිම සැලැස්මක් නැහැ. මේ අවුරුදු කිහිපයකට සමස්ත ජාතියම ණයකරුවන් බවට පත් කළා. රට විකිණීමේ පළමු දේශද්‍රෝහියා මංගල සමරවීරයි. දේශද්‍රෝහී පරගැති ආණ්ඩුව පරාජය කළ යුතුයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා -

16 වැනිදාට තිබෙන්නේ පක්‍ෂ අතර සටනක් නෙමෙයි. මවුපොළොව බේරා ගැනීමේ සටනක් තිබෙන්නෙ. පරගැති හවුල එළවන දිනය 16 වැනිදා. ස්වදේශිකයා අතේ අපේ රට අද නැහැ. පාස්කු ඉරිදා රටේ තැනින් තැන අහිංසකයන් මරා දැමූ බව මේ අය පිළිඅරන් ඉවරයි. පාස්කු ඉරිදා අපරාධකරුවන් ඇතුළු සියලු දෙනාටම එකට තියලා ගෙදර යවන්න 16 වැනිදා මේ රටේ ජනතාව සූදානම්. ඩොලර් මිලියන ගණනක් ගත්තා පාස්කු ප්‍රහාරයෙන් පසුව. මළ මිනී මතින් මංගලට රජමඟුල්.

අද මේ රටට ඉල්ලන්නේ ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂිත කරන නායකයෙක්. රටක් රාජ්‍යයක් වටින, රකින නායකයෙක්. හොඳ ඩයිනමෝවක්, එන්ජිමක්, සුපිරි මොළයක් තිබෙනවා කියලා කියනවා. ගෝඨාභය මහතා කතා කරන්නේ රට හදන ප්‍රතිපත්තියයි. තමන් ගොඩනඟන අනාගතය ගැනයි එතුමා කතා කරන්නේ. කුණු ගඳගහන දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නයි එතුමා කතා කරන්නේ. හැදෙන, ගොඩනැඟෙන රටක්, නූතන ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න අවශ්‍යයි.

සහරාන්ගේ නායකයෝ ඉන්නේ සජිත්ගේ වේදිකාවේ. සාමාන්‍ය මුස්ලිම් ජනයා මේ අන්තවාදය පිළිගන්නේ නැහැ. ඒ ජනතාව දිහා සැකෙන් බලන වාතාවරණය හැදුවේ ආණ්ඩුවයි. ඔවුන්ට අවශ්‍ය වෙලා තිබෙන්නේ ඒ සැකය තුරන් කළ හැකි නායකයෙක්. මේක කාවවත් පරද්දන වේදිකාවක් නෙමෙයි. සමස්ත ශ්‍රී ලාංකිකයන් දිනවන වේදිකාවක් කරගත යුතුයි. මේ රටේ බය නැතිව තීරණයක් ගන්න ඕන නායකයෙක් අවශ්‍යයි. තම දරුවන්ගේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් රටට නිවැරදි නායකත්වයක් අවශ්‍යයි.දේශපාලන බිමට විනය, හික්මීම ගෙන එන නායකයෙක් මේ සියවසේ ඉල්ලා සිටිනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහතා මහින්ද රාජපක්‍ෂ සුසංයෝගය මේ රට හරි දිශාවට

ගමන් කරවයි. ජාති ආගම් කුලමල පැත්තට දාලා 16 වැනිදාට පොහොට්ටුවට ඡන්දය දෙන්න. පොහොට්ටුව තිබෙන්නේ ඔටුවට යටින්, කණ්නාඩියට උඩින්. හොඳට බලලා පොහොට්ටුවට ඡන්දය දෙන්න.

පුතාණෝ කාන්තාවන්ට නොමිලේ දෙන්න හැදුව එකටත් බදු ගැහැව්වේ මංගල. අන්තවාදය පරදවන්න පුළුවන් නායකයෙක් මේ රටට අවශ්‍යව තිබෙනවා. වෙන කවුරුවත් නෙමෙයි, ගෝඨාභය මහතා රටේ මීළඟ ජනාධිපති විය යුතුයි. සියලු දෙනාම එකට රොඳ බඳින වෙලාව නොවැම්බර් 16 වැනිදා. ගෝඨාභය මහතාට ඡන්දය ලබාදී 17 වැනිදා කිරිබත් කමු. දැන් මේ අය ගහන මඩ. ඒවාට අහුවෙන්න එපා. ඡන්ද කොළේ හරියට බලලා පොහොට්ටුවට ඡන්දය දෙන්න.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, සර්ව ආගමික නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයන් රැසක් සහ පාක්‍ෂිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Share this: