“මම නම් ඇඩුවේ නැහැ” – අජිත් නිවාඩ් කබ්රාල්

“මම නම් ඇඩුවේ නැහැ” – අජිත් නිවාඩ් කබ්රාල්

රජයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා මෙම නියෝගය නිකුත් කළේ අදාළ නඩුව ඊයේ (අප්‍රේල් 06) කැඳවූ අවස්ථාවේදී හිටපු මහ බැංකු ප්‍රධානියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින්.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ විත්තිකරුට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිලිකරු අපොහොසත් වී ඇති බවත් එබැවින් පැමිණිල්ල නිෂ්ප්‍රභ කරන බවත්ය.

කබ්රාල් මහතා 2006 සිට 2015 දක්වා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ ශ්‍රී ලංකා රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක අලාභයක් සිදු කළ බවට චෝදනා කරමින් දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රාජිත කීර්ති තෙන්නකෝන් මහතා විසින් අදාළ පෞද්ගලික පැමිණිල්ල ගොනු කර තිබුණි.

කැබිනට් අමාත්‍යවරුන්ගේ අනුමැතියකින් තොරව පකිස්ථාන-ඇමරිකානු දේශපාලන ආධාරකරුවෙකු වන ඉමාද් සුබේරි වෙත ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ගෙවා සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ සාපරාධී මුදල් අපහරණයට වගකිව යුතු බවට ද ඔහුට චෝදනා එල්ල වී තිබේ.

Share this: