මත් සාදයක් වටලයි

මත් සාදයක් වටලයි

බොරලැස්ගමුව අබේරත්න මාවතේ රතනාරාම පාරේ නිවසක් තුළ මත් සාදයක් පැවැත් වූ තරුණ තරුණියන් 9 දෙනෙකු අද (13) අත්අඩංගුවට ගත්බව බොරලැස්ගමුව පොලීසිය කියයි.

මොවුන් සමග කෘෂ් නැමැති මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 45, අයිස් බවට සැකකරන හඳුනානොගත් මත්ද්‍රව්‍ය, මත්පෙති, දුම්වැටි හා මත්ද්‍රව්‍ය සඳහා යොදාගන්නා සුදු යකඩයෙන් තැනූ උපකරණ තුනක්ද පොලිස් භාරයට ගත්බව පොලිසිය පවසයි. ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට මෙම නිවසින් ඝෝෂාකාරී සංගීතයක් නොනවත්වා ඇසෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව බොරලැස්ගමුව පොලිසිය මෙම වැටලීම සිදුකර තිබේ.

එම නිවස තුළ සමාජශාලාවල රාත්‍රියට දිස්වන අයුරින් අඩඅඳුරු ආලෝකයක් තිබූ අතර එයටම ආවේණික වූ සංගීත නාදයක්ද තිබූ බව පොලිසිය පවසයි. තරුණයන් 6දෙනෙකු සහ තරුණියන් 3දෙනෙකු නිවසේ සාලයේ සහ නානකාමරයට යාබද කාමරයේ සිටි අතර කෘෂ් සහ අනෙකුත් මත්ද්‍රව්‍ය තිබූ බවද පවසයි.

සාදය සඳහා එක් තරුණයකුගේ නිවසක් මෙලෙස යොදාගෙන ඇති අතර ඔවුන්ගේ දෙමව්පියන් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් අනාවරණය වී තිබේ.

දෙහිවල, තලංගම, කටුනායක, මොරටුව හා අනුරාධපුරයේ පදිංචි අවුරුදු 22ත් 25ත් අතර තරුණ තරුණියන්ය. මොවුන් සියලු දෙනා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බස්නාහිර දකුණ පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ, නුගේගොඩ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දිනේෂ් කරුණානායක, බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා යන මහත්වරු ඇතුලු පොලිස් නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.

Share this: