මත්තල වී ගබඩා කිරීමට මගේ මැදිහත් වීමක් නෑ – අගමැති ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ පවසයි

මත්තල වී ගබඩා කිරීමට මගේ මැදිහත් වීමක් නෑ – අගමැති ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ පවසයි

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (23 දා) ජනාධිපති විමර්ශන කොමිසම හමුවට පැමිණි අයුරු.

ඡායාරූපය – කමල් බෝගොඩ

මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරීම සඳහා තමන් පෞද්ගලික මැදිහත්වීමක් නොකළ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබා දෙමින් ඊයේ (23) පැවසීය.

මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරීම නිසා එහි උපකරණවලට හානි සිදුවී ඇති බවට ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවට කර ඇති පැමිණිල්ල පිළිබඳ විභාගය ඊයේ වැඩිදුරටත් පැවැත්විණි. එහිදී රජයේ අධිනිතීඥවරයා විසින් වී

ගබඩා කිරීම නිසා ගුවන් තොටුපළ අවභාවිතාවට ලක්වූ බව අගමැතිවරයාගෙන් විමසා සිටි අතර ඒ පිළිබඳ සාක්‍ෂි ලබා දෙමින් අගමැතිවරයා පැවසුවේ නුසුදුසු ස්ථානයක මෙම ගුවන්තොටුපළ ඉදිකිරීම නිසා එය අවභාවිතයට ලක් වී ඇති බවයි.

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරියා වූ අජිත් ඩයස් මහතා කොමිසම හමුවේ සාක්‍ෂි ලබා දෙමින් අගමැති කාර්යාලයේ චරිත රත්වත්තේ මහතා කතා කර කියූ නිසා ගුවන් තොටුපළේ වී ගබඩා කිරීමට අවස්ථාව දුන් බව ප‍්‍රකාශ කර තිබේ. ඒ පිළිබඳ සාක්‍ෂි ලබාදෙමින් අගමැතිවරයා ප‍්‍රකාශ කර සිටියේ වී ගබඩා කිරීම සඳහා පත් කළ කමිටුවේ කටයුතුවලට චරිත රත්වත්තේ පාස්කරලිංගම් වැනි ලේකම්වරුන් සහභාගි වුවත් ඒ සඳහා තමන් මැදිහත් නොවූ බවයි.

තවදුරටත් කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙමින් අගමැතිවරයා ප‍්‍රකාශ කර සිටියේ මත්තල ගුවන් තොටුපළ ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන 225 ක ණයක් ලබා ගෙන ඇති බවත් එම ණය මුදලේ පොලී ගෙවීමට සහ ගුවන් තොටුපළ නඩත්තු කටයුතු සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 4 ක මුදලක් වැය වන බවයි. හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ එම පාඩුව අවම කිරීම සඳහා ඉදිරියේදී සංචාරක කලාප 6 ක් ඇති කිරීමට සහ ඉන්දියානු ගුවන් සමාගම සමග සාකච්ඡා කර හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්‍ෂා කරන බවයි.

Share this: