මගේ මතයට විරුද්ධ විය හැකියි – සංගීත ශිල්පී චන්දන වැලිකල

මගේ මතයට විරුද්ධ විය හැකියි – සංගීත ශිල්පී චන්දන වැලිකල

ටෙලි සිත්තමකට රූපය මෙන් වැඩි වටිනාකමක් හිමිකර ගන්න අනෙක් මාධ්‍යය වන්නේ සංගීතයයි. සංගීතය මගින් රූපයේ හා රූප රාමුවේ අර්ථය තීව්‍ර කිරීමටත්, අධ්‍යක්ෂවරයාට රූපයෙන් හා රූප රාමුවෙන් කිව නොහැකි දේ කීමත් සිදු කළ හැකියි. සංගීත අධ්‍යක්ෂවරයෙකු සතු වූ මේ කාර්යය අවබෝධ කරගත් චන්දන වැලිකල නම් සංගීත අධ්‍යක්ෂවරයා සිය නිර්මාණ ජීවිතය පිළිබඳ හා ටෙලි නාට්‍ය සංගීතයේ වර්තමාන තත්ත්වය පිළිබඳ මෙසේ සඳහනක යෙදුණේ ය.

ස්වාධීන රූපවාහිනියේ සංගීත අංශයේ විධායක නිෂ්පාදකවරයෙකු විදියට මේ දිනවල නියැළෙන නිර්මාණ කටයුතු මොනවාද?

මේ දවස්වල මා ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍ය දෙකක සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා. ඒ බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ජනාදරයට පාත්‍ර වූ ‘පොඩිමාමා’ ටෙලි නාට්‍යයේත්, වෙනස් ආකාරයක කතා තේමාවක් ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට ගිය ‘රිතූ’ ටෙලි නාට්‍යයේ. මේ නාට්‍යවල පසුබිම් සංගීතය ඇතුළු තේමා ගීතවලට සංගීතයට නිර්මාණය කරන්නේ මා බොහොම කැමැත්තෙන්. එහිදි ඒ කතාවල ස්වභාවය මත වෙනස් ආකාරයට සංගීතය නිර්මාණ කටයුතු කිරීම මා සලකන්නේ මට පැවරුණු විශාල වගකීමක් වශයෙන්. මේ කටයුතුවලට අමතරව මගේම ගීත දෙකක් අසන්නන් අතරට රැගෙන ඒමටත් මා සූදානම් වෙනවා. ඒ ගීත දෙකේ මූලික පටිගත කිරීම් කරලා අවසානයි. එහි සංගීත නිර්මාණය කළේත්, ගීත ගයන්නේත් මමමයි. ඒ ගීත ලිව්වේ බන්දුල ජයසේන මහත්තයා හා ස්වාධීන රූපවාහිනියේ ජනපි‍්‍රය නිවේදකයෙක් වුණු ප්‍රියාල් වීරසිංහ මහත්තයායි. මේ ගීත දෙක ජනතාව අතරට රැගෙන යෑමේ කටයුතු ඉකිමනින්ම කිරීමට මට සිදු වී තිබෙනවා. ඒ මගේ නිර්මාණ රස විඳින අයගේ ලැබෙන ප්‍රතිචාරත් සමඟයි. මුලින්ම ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකළත් මේ වනවිට ඒ ගැන මගේ මූලික අවධානය යොමු වී තිබෙන බව මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට හා අසන්නන්ටත් කිව යුතුයි.

ඔබගේ නිර්මාණ දිවිය ආරම්භ වන්නේ ගුවන් විදුලි ශිල්පියෙකු වූ පී. වැලිකල ශිල්පියා වන ඔබගේ තාත්තාගේ මඟ පෙන්වීම යටතේද?

තාත්තා ගුවන් විදුලි නාට්‍ය කලාවට මූලිකත්වය ලබාදුන් ශිල්පියෙක් විදියට ජනප්‍රියත්වයක් හිමිකර ගෙන හිටියත් මගේ කැමැත්ත තිබුණේ සංගීත අංශයටයි. ඔහු නිතරම කිව්ව කාරණයක් වුණේ තමන්ගේ දක්ෂතාවෙන්, ස්වඋත්සාහයෙන් තැනක් නිර්මාණය කර ගන්න කියන එකයි. ඒ වචනයට කවදත් මම ගරු කළා. ඒ නිසා තාත්තාගේ නම භාවිත කරමින් ක්ෂේත්‍රයේ බැබළෙන්න මට උවමනා වුණේ නැහැ. ඔහු වුණත් මගේ පුතා මෙහෙම කෙනෙක් ඒ නිසා අර නිර්මාණයට ගන්න, මේ නිර්මාණයට ගන්න කියලා කිසිම නිර්මාණකරුවෙකුට කියලා නැති වග මා දන්නවා. මගේ ජීවිතයට තාත්තාගේ මඟ පෙන්වීම තිබුණත් අද දක්වා පැමිණි මේ ගමන මම ආවේ මගේ ස්වඋත්සාහයෙන්. කැප කිරීම් කිරීමෙන්.

ඔබගේ ටෙලි නාට්‍ය සංගීත දිවිය ආරම්භ වන්නේ කොහොමද?

කුඩාකල පටන්ම සංගීතයට ප්‍රිය කළ මට සංගීතය හැදෑරීමේ මූලික අඩිතාලම වැටුණේ මා ඉගෙන ගත් ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන්. ඊට පස්සේ මම වාද්‍ය විශාරද බී. වික්ටර් පෙරේරා ගුරුතුමා යටතේ ඉගෙන ගත්තා. මුලින්ම වෘත්තිය විදියට ගුරු වෘත්තිය තෝරා ගත්ත මම 1984,86 කාලයේ හොරව්පොතාන මධ්‍ය මහ විද්‍යාලයේ සංගීත ගුරුවරයෙක් විදියට සේවයට යනවා. එහි වසර කිහිපයක් සේවය කිරීමත් සමඟ ඉන් ඉවත් වෙන්න තීරණයකට මා පැමිණෙන්නේ මගේ නිර්මාණ කාර්යයට මේ වෘත්තිය වැට කඩුල්ලක් වන නිසා. පසුව මම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහන වාදකයෙක් වශයෙන් අවුරුදු දෙකක් විතර වාදක මණ්ඩලයේ සේවය කරනවා. ඊට පසුවයි ස්වාධීන රූපවාහිනියෙන් ආරාධනා ලැබෙන්නේ ඒ ආයතනයට එන්න කියලා. 87 මුල් වකවානුවේ ඉඳලා මා ස්වාධීන රූපවාහිනියට සේවයට ගියාට පස්සේ ‘මධුරසාංග’, ‘මියැසි විසිතුර’ වගේ ඒ කාලයේ ජනප්‍රිය වුණු වැඩසටහන්වල නිෂ්පාදකවරයෙක් විදියට කටයුතු කළා. ඊට අමතරව ස්වාධින රූපවාහිනියේ විකාශය වන ටෙලි නාට්‍යවල සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා. මුලින්ම ‘කෝපිකඩේ’ ටෙලි නාට්‍යයේ සංගීතය නිර්මාණ කළා. මේ නිසා ඒ කාර්යය මට ලොකු සතුටක් රැගෙන ආවා. ඊට සභාපතිතුමා, විපුල රත්නසිරි මහත්තයා ඇතුළු ස්වාධීන රූපවාහිනියේ සියලුම කාර්යමණ්ඩලයටත් මා ස්තූති වෙනවා.

ගීතයක සංගීත නිර්මාණයෙන් ටෙලි නාට්‍යයක සංගීතය නිර්මාණය වෙනස් වන්නේ කෙසේ ද?

ගීතයකදි පද වැලක් ලැබුණාට පස්සේ එය සිතේ ධාරණය කරගෙන කොහොමද සංගීතය නිර්මාණය කරන්නේ කියලා තීරණය කිරීමෙන් ටෙලි නාට්‍යයක සංගීතය නිර්මාණය කරන්න බැහැ. එය වෙනස් විදියට කරන දෙයක්. අනික අද ටෙලි නාට්‍ය සංගීතය ගැන හදාරන්න තැනක් ඇත්තේ නැහැ. මේ නිසා මේ සිදුවීමකට, මේ චරිතයකට සංගීතය නිර්මාණය කරන අයුරු තීරණය කළ යුත්තේ තමන්මයි. නාට්‍යයකට සංගීතය ලොකු පිටි වහලක් ලබාදෙනවා පමණක් නෙවෙයි, දෙබස් ඛණ්ඩය හෝ සිදුවීම තීව්‍ර කරන්නේත් සංගීතයෙන්. සමහර ටෙලි නාට්‍යයක කථාංග පනහක් තියෙනවා වගේම සමහර නාට්‍යයක් ඊටත් වඩා කථාංග තිබිය හැකියි. එතනදි විශේෂයෙන්ම මෙගා නාට්‍යයක සංගීතය නිර්මාණය කිරීමේ දී මා එය කරන්නේ දළ සටහනකටයි. මේ නිර්මාණවලට සංගීතය නිර්මාණය කිරීමට අපට ලැබෙන්නේ එය රූගත කරමින් යන අවස්ථාවලදියි. ඒ වගේ වෙලාවට ඔවුන් මට ලබා දෙන්නේ ඒ කථාංගවල චරිතවල කටුසටහනක් පමණයි. එතනදි ඔවුන් කියා තිබෙන මෙතනදි මෙවැනි සංගීතයක් උචිත යැයි හැගේ කියන පාඨය ඔස්සේ යමින් තමයි අප සංගීතය නිර්මාණය කළ යුතු වන්නේ. මේක නිර්මාණකරුවකුට එල්ල වන විශාල අභියෝගයක්. මොකද සමහර විට සංගීත ශිල්පියා ඒ අවස්ථාවට නිර්මාණය කරන සංගීතය හරි යන්නත් පුළුවන්. වරදින්නත් පුළුවන්. මෙවැනි තත්ත්වයක නෙවෙයි ගීතයක සංගීතය නිර්මාණය කරන්නේ. මේ දෙක අතර තිබෙන වෙනස එයයි.

මීට පෙර නම් ටෙලි නාට්‍යයවල සංගීතය නිර්මාණය වුණේ ඒ නිර්මාණය සම්පූර්ණයෙන් රූගත කිරීමෙන් පසුවයි. නමුත් අද එහෙම නොවීම නිසා ටෙලි නිර්මාණවල සංගීත නිර්මාණය කියන කටයුත්ත තිබෙන්නේ අසාර්ථක තැනක නේද?

එහෙම වෙන්නත් පුළුවන්. නමුත් ඔවුන් දෙන චරිතයේ ස්වභාවය හා අවස්ථාව අපට විස්තර කර ඇති නිසා ඒ අනුවයි සංගීතය නිර්මාණය වෙන්නේ. එවැනි අවස්ථාවලදි සංගීත නිර්මාණය සම්පූර්ණයෙන්ම අසාර්ථක යැයි පවසන්නට අපට නොහැකියි. එහෙත් මුළු ටෙලි නිර්මාණයම සම්පූර්ණයෙන්ම දැකීම ඔස්සේ කරන සංගීත නිර්මාණයේදී පෙර ක්‍රමවේදයට වඩා තරමක් උසස් ලෙස නිර්මාණයට සංගීතය නිර්මාණය කළ හැකි බවක් පිළි ගන්නට අපට සිදු වෙනවා.

ටෙලි නිර්මාණයක මුළු නිර්මාණය නොදැකීම නිසා කරන සංගීත නිර්මාණ නිසාද අපට ඒකාකාරී සංගීතයක් ටෙලි නිර්මාණවල අසන්නට ලැබෙන්නේ?

එහෙම අවස්ථා ඕන තරම් තිබිය හැකියි. එහෙත් මම නම් ඒ ගැන වඩාත් උනන්දු වෙනවා. මේ කාරණයේ මම දකින විදියෙත් වෙනම පැත්තක් තියෙනවා. ඒ ටෙලි නිර්මාණයක සංගීත ඛණ්ඩ යෙදීමේදී සංගීත ඛණ්ඩ වැඩි ප්‍රමාණයක් භාවිත කිරීමෙන් කළොත් ඒ ටෙලි නිර්මාණය ප්‍රේක්ෂකයන් අතරට නොයා සිටීමට තිබෙන ඉඩකඩ වැඩිවීමයි. මෙගා ටෙලි නාට්‍යයකට සංගීත ඛණ්ඩ පනහක් එක සිදුවීමකට අදාළ කර නොගත්තොත් ඒ නිර්මාණය ජනතාව අතරට යන ප්‍රමාණය අඩු බවයි මගේ හැඟීම වන්නේ. මම නම් ගොඩක් වෙලාවට නිර්මාණය කරන්නේ සංගීත ඛණ්ඩ විසිපහක් පමණයි. ඒ විසිපහ තමයි වෙනස් වෙවී යන්නේ. ඒත් දිගින් දිගට යන චරිතයකට එක් සංගීත ඛණ්ඩයක් යොදන්න පුළුවන්. එවිටයි ප්‍රේක්ෂකයන්ට මතක් වෙන්නේ මේ චරිතයේ මේ ස්වභාවයටයි මේ සංගීත ඛණ්ඩය යෙදෙන්නේ කියලා. එහෙම වුණාමයි ඒ නිර්මාණය ජනතාව අතරට යන ප්‍රතිශතය වැඩි වන්නේ. ඒ තීරණයේ මා ඉන්නවා. එහෙත් මේ තීරණයට ඕනෑම කෙනෙකුට විරුද්ධ විය හැකියි.

තිලානි ශානිකා විතානාච්චි

Share this: