භික්ෂු කතිකාවත පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් රජයකටවත්, දේශපාලනඥයින්ටවත් චෝදනා නොකළ යුතු බව ගල්කිස්ස බෞද්ධ ධර්මායතනාධිපති, පූජ්‍ය දිවියාගහ යසස්සි හිමි පවසයි.
එය බොහෝ කලක සිට මහා සංඝරත්නය විසින් රජයන්ගෙන් ඉල්ලා සිටි බවත්, වත්මන් රජය විසින් එවන් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව දක්වාම ගෙන ඒමට කටයුතු කිරීම සම්බන්ධයෙන් තම ආශිර්වාදය හිමිවන බවත් උන්වහන්සේ කියා සිටියේ අද (19) සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පැවති මාධ්‍ය හමුවකදීය.
පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල ආදි රාජ යුගවලද මෙවැනි භික්ෂු කතිකාවත් රාජ අනුග්‍රහය සහිතව ඇති වූ බවත්, නිකාය මගින්, විවිධ භික්ෂු සංවිධාන මගින් විටෙන් විට මෙවන් යෝජනා ඉදිරිපත් වුවද ඒවා ක්‍රියාත්මක කිරීමට නම් රාජ්‍ය අනුග්‍රහය පැවතිය යුතු බවත් යසස්සි හිමියන් පෙන්වා දුන්නේය.
මෙය නිර්මාණය කොට සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවක් නොවන බවත්, එයට යම් බලයක් දීම සඳහා ලියාපදිංචි කිරීමට කටයුතු කිරීම වෙනුවෙන් ගෙන එන්නක් බවත් උන්වහන්සේ අවධාරණය කළේය.
අට පිරිකර පිළිගන්නාක් මෙන් මෙවන් යෝජනාවක් බාරගැනීමට නොහැකි බව තමන් විශ්වාස කරන බවත්, මෙහි අඩුපාඩු පවතින බවත්, ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතුව ඇති බවත්, ඒ සඳහා වුවද යම් ආරම්භයක් පැවතිය යුතු බැවින් රජය විසින් ගෙන එනු ලබන යෝජනාවට ආශිර්වාද කරන බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වූ ආචාර්ය, පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා දෙසවත්, මෛත්‍රීපාල සිරිසේන මහතා දෙසවත් නොව සංඝ ශාසනය දෙස බලා තීන්දු තීරණ ගත යුතුව ඇති බවයි.
ඇතැම් භික්ෂුන් වත්මන්හි තමන් බුදුවී ඇතැයි ප්‍රකාශ කරන බවත්, තවත් හිමිවරුන් තමන් රහත්වී ඇති බව ප්‍රකාශ කරමින් බෞද්ධ ජනයා රවටා වැඩි වැඩියෙන් පුද සත්කාර ලබන බවත්, එවන් උදවිය හේතුවෙන් සංඝ ශාසනය පිරිහෙන බවත් සෝභිත හිමියන් පෙන්වා දුන්නේය.
එබැවින් භික්ෂු කතිකාවතක අවශ්‍යතාව තදින් දැනෙන බවත්, මහනායක හිමිවරුන් පවා අසරණ තත්ත්වයකට පත්ව ඇති බවත්, අධිකරණ සංඝනායක පදවි සන්නස්පත්‍ර වලට පමණක් සීමාවී ඇති බවත් සෝභිත හිමියන් වැඩිදුරටත් කියා සිටියේය.