බුදුන් වහන්සේත් දේශපාලනය කළා – අපි නඩු කියනවා

බුදුන් වහන්සේත් දේශපාලනය කළා – අපි නඩු කියනවා

ආණ්ඩුව විසින් ගෙනඒමට යන්නේ බුදුන් වහන්සේ ජීවතුන් අතර සිටි‍යේ නම් උන්වහන්සේටද සිරබත් කෑමට සිද්ධකරන පනතක් බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ අනුව බුදුන් වහන්සේටද ආරාමයේ නොව සිරගෙදර වැඩ වාසය කරන්නට සිදුවන බව හෙතෙම කියා සිටියේ අද(18) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

‘භික්ෂු විනය’නමැති සළුව අන්දවා භික්ෂුන් දේශපාලනයට ප්‍රවේශවීම වැළැක්වීමට මෙම පනත මගින් සූක්ෂම ලෙස ක්‍රියා කරන බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය.

බුදු රජාණන් වහන්සේද එකල දේශපාලනය කටයුතු සඳහා සම්බන්ධ වුණු බවත්, රජ වරුන්‍ට උපදෙස් දීමෙන්, ඇතැම් රාජ්‍යයන්ගේ ගැටුම් සඳහා මැදිහත්වෙමින් උන්වහන්සේ දේශපාලනය කළ බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

තායිලන්තයේ 95% ක් පමණ බෞද්ධයින් ජීවත්වන බවත්, එහෙත් එය ආසියාවේ ගණිකා මඩම බවට පත්ව ඇති බවත් ගම්මන්පිල මහතා සඳහන් කළේය.

ඒ ආකාරයෙන්ම මෙවන් පනත් ගෙන ඒම මගින් ශ්‍රී ලංකාවද ආසියාවේ ගණිකා මඩම බවට හෝ ආසියාවේ තැබෑරුම බවට පත්වන බව ඔහු අවධාරණය කළේය.

‘ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත’නමින් මෙම පනත නම්කර ඇති බවත්, එබැවින් එය අදාළ වන්නේ ථේරවාදී භික්ෂුන්ට පමණක් බැවින් ථේරවාදී භික්ෂුන් මහායාන භික්ෂුන් බවට පත්කිරීමට මෙමගින් උනන්දුකරවීමක් දක්නට ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

භික්ෂු සමාජය යනු විශාල සංවිධානයක් බවත්, ඒ නිසාම යම් භික්ෂුවක් විනය විරෝධී ලෙස හැසිරෙන්නේනම් එම භික්ෂුව සංඝ ශාසනයෙන් නෙරපා හැරීමේ වගකීම පවතින්නේ භික්ෂුන්ටම මිසක් අන් අයට නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ආණ්ඩුව විසින් භික්ෂුන් අරබයා ගෙන ඒමට සූදානම් කර ඇති පනතින් මූලික මිනිස් අයිතිවාසිකම් පවා උල්ලංඝණය වන බැවින් ඊට එරෙහිව පිවිතුරු හෙළ උරුමය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර ඇති බවත්, එය නුදුරු සතියේදී විභාග කිරීම ආරම්භ කෙරෙනු ඇති බවත් ගම්මන්පිල මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share this: