2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවි නැගුම සංවර්ධන අරමුදලින් රුපියල් මිලියන 2292ක මුදලක් වැය කර දිවි නැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර බෙදාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කර හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක වැඩිදුර විභාගය දෙසැම්බර් මස 07 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ ඊයේ (29) නියෝග කළා.
මෙම නඩුව ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේ එහි විත්තිකරුවන් ලෙස නම්කර සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක, එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන අය අධිකරණය හමුවේ පෙනී සිටියහ.
Share this: