බැඳුම්කර චෝදනා පරික්ෂණ කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

බැඳුම්කර චෝදනා පරික්ෂණ කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

බැඳුම්කර චෝදනා සම්බන්ධ පරික්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

ඉතා කඩිනමින් අදාළ පරික්ෂණ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට එරෙහිව පියවර ගන්නා ලෙස වැඩිදුරටත් උපදෙස් දුන් ජනාධිපතිවරයා සඳහන් කළේ පරීක්ෂණ පමාවීම යුක්තිය ඉටුවීමට බාධාවක් බවයි. බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශන සභාවේ සාමාජිකයන් ඇතුළු නිලධාරින් සමඟ ඊයේ (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ය.

මේ වනවිට අන්තර්කාලීන වාර්තා 04 ක් ලැබී තිබෙන බවත්, මෙම දෙසැම්බර් මාසය වනවිට ඉතිරි වාර්තා ද ඉදිරිපත් කළහැකි බවත් මෙහිදී අනාවරණය කෙරිණි. මුදල් විශුද්ධිකරණය සම්බන්ධව බැංකුවලින් වසර 05ක ලේඛන ඉල්ලා සිටිය ද තවමත් එම වාර්තා ලැබි නොමැති බැවින් පරික්ෂණ කටයුතු ඉදිරියට සිදුකිරීමේ දී අහසුතාවයක් මතුව තිබෙන බවද නිලධාරිහු පෙන්වා දුන්හ.

මෙම වංචාවට අදාළ චූදිතයන්ට දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධමය වරදක් ලෙස චෝදනා ඉදිරිපත්කර තිබෙන බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අදාළ සාක්ෂි දිවුරුම් ප්‍රකාශ මඟින් මෙම දෙසැම්බර් මාසයට පෙර ඉදිරිපත් කරන බවද සඳහන් කෙරිණි. මෙම පරික්ෂණ කටයුතු කඩිනම් කිරීම වෙනුවෙන් තම පාර්ශ්වයෙන් ලැබිය යුතු සෑම සහයක්ම ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්වරුන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුළු අදාළ නිලධාරින් ද, වැඩබලන පොලිස්පති සී.ඞී.වික්‍රමරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිහු මිට එක්ව සිටියහ.

Share this: