බ්‍රීස් ප්‍රින්සස් නෞකාව මිලදී ගැනීම රන්ජිත් ප්‍රේමසිරි සහ පවුලේ අයගේ ගිණුම්වල

බ්‍රීස් ප්‍රින්සස් නෞකාව මිලදී ගැනීම රන්ජිත් ප්‍රේමසිරි සහ පවුලේ අයගේ ගිණුම්වල

ශ්‍රී ලංකා නැව් සංස්ථාවට 2010-2015 වසරවලදී සිලෝන් බ්‍රීස් ප්‍රින්සස් නෞකාව මිලදී ගැනිමේදී නැව් සංස්ථාව AVL international Beijing සමාගමට නෞකාවේ වටිනාකමට වඩා වැඩි මුදලක් වන අමෙරිකානු ඩොලර් මිලියන 35ක් ගෙවීමෙන් රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියේ වරාය හා මහාමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා වන රන්ජිත් ප්‍රේමසිරි මහතාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ බැංකු ගිණුම් සහ ඔහු‍ භාවිතා කළ පරිඝණකය පරීක්ෂා කිරීම් මහා පරිමාණයෙන් මුදල් සංසරණය වීම් මෙන්ම දේපොළ මිලදී ගැනීම් අනාවරණය වූ බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ (26) කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ දැනුම් දුන්නේය.

එම මුදල් සංසරණය වී ඇති බව කියන මෙම මූල්‍ය වංචාවට අදාළව චින සමාගමේ ප්‍රධානියාගේන්, ඔහුගේ පුත්‍රයාගේත් බැංකු ගිණුම් කිහිපයක් පරීක්ෂා කිරීමට අවසර ලබා දෙන ලෙසත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමට මහේස්ත්‍රාත් අවසර ලබා දුන්නේය.

මහේස්ත්‍රාත්වරයා මෙලෙස අවසර ලබා දුන්නේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෝසමක් ගොනු කරමින් වරාය හා මහාමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා වන ‍රන්ජිත් ප්‍රේමසිරි මහතා ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව සිදු කැර ඇති මෙම ගනුදෙනුවෙන් ඔහුගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ ගිනූම්වලට මුදල් බැර වී ඇති බවත් චීන ජාතිකයා ඔහුගේ බිරිඳ සහායකයා නමින් මිලදී ගත් සුපිරි නිවාස සංකීර්ණවල ප්‍රේමසිරි මහතගේ පුතා සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වරියක් නවාතැන් ගෙන සිට ඇති බවත් කුලි පදනම මත සිටි බවට ඔවුන් සතුව කිසිදු සාක්ෂියක් නැති බවත් සිදු කළ විමර්ශන අනාවරණය කළ බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

මෙම ගනුදෙනුව සිදු කිරීමෙන් පසුව අමාත්‍යංශ හිටපු ලේකම්වරයා සහ චීන ජාතිකයා සැක සහිත දුරකතන සබඳතා පවත්වා ඇති බවත් නැවක තක්සේරු වටිනාකම වන අමෙරිකානු ඩොලර් මිලියන 20ක් බවත් එම මුදලට වඩා වැඩි වටිනාකමක් ගෙවමින් මුදල් අවභාවිත කැර ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා සිටි අතර මෙම ගනුදෙනුව අර්ථලාභී සමාගමක් වන බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් හි ලියාපදිංචි කැර ඇති ඇවින්මා හෝල්ඩ්න් සමාගමේ මිලියන 47ක්ද ලෝටස් ග්‍රෝව් ඉන්ටර්නැෂනල් සමාගමේ චීන ජාතිකයා ව්‍යාපාරික ගොඩනැගිලි ඉදි කොට ඇති බවත් ඉන් සියයට 10 කොටසක් මිග් යානා ගනුදෙනුවට සම්බන්ධ සැකකරුවකු වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් වයිෂ් මාෂල් පී. ඩී. ජයනාත් යන අයගේ ගිණුමකට බැර වී ඇති බවත් සිදු කළ විමර්ශන අනාවරණය කළ බව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධීකරණයට දන්වා සිටියේය.

එංගලන්තයේ එම සමාගම සිදු කළ තක්සේරුවට අනුව නැව් දෙකහි මිල අමෙරිකානු ඩොලර් මිලියන 20කට තක්සේරු කර ඇතත් නැව් දෙක මිලදී ගෙන ඇත්තේ ඩොලර් මිලියන 35කට බව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කළ විමර්ශන අනාවරණය කැර ඇතැයි පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය. මේ සිද්ධියට අනුව අමෙරිකානු ඩොලර් මිලියන 15ක පාඩුවක් රජයට සිදුව ඇති බවටත් මේ මුදල්වලට සිදු වුයේ කුමක්දැයි යන්න පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් සිදු කරන බවටත් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධීකරණයට කියා සිටියේය.

2016.07.08 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා පොලිස්පතිවරයාට සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන සිදු කැර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කැර අධීකරණයට වාර්තා කරන ලෙස මහේස්තාත්වරයා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කෙළේය.

Share this: