ශ්‍රී ලංකා පිල සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියට පැමිණි බංග්ලාදේශ කණ්ඩායමට ලබා දී ඇති ආරක්ෂාව පිළිබඳ සතුටුවිය හැකි බව බංග්ලාදේශ ක්‍රිකට් නායක ටමීම් ඉක්බාල් පවසයි.
ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රීඩා කිරීමට තමන් හා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් බලවත් කැමැත්තකින් පසුවන හෙයින් මෙරට පවතින ආරක්ෂාව හොඳ තරගාවලියක් පැවැත්වීමට පිටුවහලක් වනු ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් නායකයා සඳහන් කළේය.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව පැවැත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් දස්කම් අතරට පිවිසෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න විශ්වාසය පළ කළේය.
ශ්‍රී ලංකා පිලේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග 26 වැනිදා දෙපිල අතර පැවැත්වෙන පළමු තරගයෙන් ජාත්‍යන්තර එක්දින පිටියට සමුදීමට තීරණය කර ඇතැයි ද මෙහිදී සඳහන් විය.
බංග්ලාදේශ හා ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් මේ බව පැවැසුවේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
‘ලෝක කුසලාන තරගමාලාව අවසන් වූ වහාම ලොකු දෙයක් කරන්න හැකියාවක් නෑ. නවකයන්ගේ හා ජ්‍යෙෂ්ඨයන්ගේ සංකලනයකින් දක්ෂයන් සොයා බැලිය යුතුයි. ශ්‍රී ලංකාවේ තණතිලි අනුව හොඳම කණ්ඩායම තේරීම් කමිටුව ලබා දී තිබෙනවා. දිනේෂ් චන්දිමාල්ට ක්‍රීඩා කරන්න ස්ථානයක් නැති නිසා ඔහු සංචිතයට එක් කරගෙන නෑ. මීළඟ ලෝක කුසලානය දක්වා ක්‍රීඩකයන් සොයා ගැනීම අපි තරගයෙන් තරගය සැලසුම් කරනවා.‘ දිමුත් කරුණාරත්න කීවේය.
‘ලෝක කුසලාන තරගමාලාවේදී අපි හොඳින් ක්‍රීඩා කළා. නමුත් අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් බලපෑවා. මේ සංචාරයට පළපුරුදු ක්‍රීඩකයන් කිහිපදෙනකු නැතිවුණත් පැමිණි ක්‍රීඩකයන් 15 දෙනා හොඳ තත්ත්වයේ සිටිනවා. ‘ ටමීම් ඉක්බාල් කීවේය.
ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ මිලින්ද සිරිවර්ධන, ජීවන් මෙන්ඩිස්, සුරංග ලක්මාල් හා ජෙෆ්රී වැන්ඩසේ සංචිතයෙන් ඉවත්කොට ඇති අතර ක්‍රීඩකයන් 22කගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, අකිල ධනංජය හා ලක්ෂාන් සඳකැන් නැවැත කැඳවා තිබේ. බංග්ලාදේශයේ තුන් ඉරියවම් ක්‍රීඩක සකීබ් අල් හසන් හා නායක මෂ්රෆි මොර්ටාසා ඇතුලු ක්‍රීඩකයන් කිහිපදෙනකු ආබාධවීම්, විවේක ගැනීම් සහ පෞද්ගලික හේතු මත සංචාරයට එක්නොවන හෙයින් වැඩ බලන නායකයා ලෙස ටමීම් ඉක්බාල් පත්කොට ඇත.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන් ඉවතට ගිය අතර එම තරගාවලියට සහභාගීවූ රටවල් දෙකක් හමුවන පළමු අවස්ථාව මෙය වේ. දෙරට අතර දිවා – රාත්‍රී එක්දින තරග තුනක් මේ මස 26, 28 හා 31 යන දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
පසුගියදා සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් පසු මෙම සංචාරය අතහැර දමන බවට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශයක් නිකුත් කළද පසුව එරට ආරක්ෂක ප්‍රධානීන් කිහිපදෙනකු ශ්‍රී ලංකාවේ කළ සංචාරයකින් පසු ආරක්ෂාව පිළිබඳ යහපත් සහතිකයක් ලැබී ඇත. බංග්ලාදේශ බුද්ධි තොරතුරු ඒකකය ද දැනට ශ්‍රී ලංකාවේ පවතින ආරක්ෂක තත්ත්වය යහපත් බවට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට වාර්තාවක් ලබාදී ඇති හෙයින් සංචාරය ස්ථීර විය.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර තරගය වැස්සට සේදී ගිය අතර එයට පෙර අවසන් වරට බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව ඩුබායි හීදී පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී හමුවී ශ්‍රී ලංකාව ලකුණු 137ක පරාජයක් ලැබීය. බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව මෙතෙක් එක්දින ජාත්‍යන්තර තරග 45කට සහභාගීවී ඇති අතර එයින් තරග 36ක ජය ශ්‍රී ලංකාව හා තරග 7ක ජය බංග්ලාදේශය හිමිකර ගෙන ඇත. පසුගිය වසරේ දෙරට අතර පැවැති එක්දින ජාත්‍යන්තර තරග 4කදී දෙපිලම තරග දෙක බැගින් ජය වාර්තා කළේය.