කිරි අම්මාවරුන්ගේ දානමය පිංකමක් ඇතුළු සර්ව ආගමික කටයුතුවලට මුල් තැන දෙමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලබන මස 11 වැනිදා සිය ජනාධිපතිවරණ ප‍්‍රචාරණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.
නාරාහේන්පිට අභයාරාමයේදී මෙම කිරි අම්මාවරුන්ගේ දානමය පිංකම පැවැත්වේ. අනතුරුව එදින කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවත්වෙන ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මහා සම්මේලනයේදී පස්වන විධායක ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් හත්වැනි විධායක ජනාධිපති ධුරය සඳහා එම පක්‍ෂයේ අපේක්‍ෂකයා නම් කරනු ඇතැයි පොදුජන පෙරමුණ ආරංචිමාර්ග සඳහන් කරයි.
පක්‍ෂ මහා සම්මේලනය්දී ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස නම් කිරීමෙන් අනතුරුව හෙතෙම පළමුව කැලණිය විද්‍යාලංකාර පිරිවෙන වෙත ගොස් මහා සංඝරත්නයේ ආශීර්වාද ලබා ගැනීමට නියමිතය.
ඉන් අනතුරුව එදින පස්වරු 6.00ට කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවත්වෙන බෝධි පූජාමය පිංකමකට සහභාගි වන අතර එතැන් සිට ඉදිරි දෙසතිය තුළ මහනුවර දළදා මාළිගාව වෙත ගොස් දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීම, මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ ආශීර්වාද ලබා ගැනීම, අගරදගරු මැල්කම් රංජිත් කාදිනල්තුමා හමුවීම ඇතුළු සර්ව ආගමික වැඩසටහන් රැසකට සහභාගි වීමට නියමිතව ඇත.