පොලිසිය ජනතාව දැනුවත් කරයි

පොලිසිය ජනතාව දැනුවත් කරයි

ඉදිරියේදී එළඹෙන උත්සව සමය, සමග සොර සතුරන් හා ගැටකපන්නන් විවිධ ස්ථානවල ගැවසීමට ඉඩ ඇති බැවින් තමන්ගේ මුදල් පසුම්බි, රන් භාණ්ඩ ඇතුළු වටිනා දෑ සම්බන්ධයෙන් වඩාත් පරික්‍ෂාකාරී වන්නැයි පොලිසිය ජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ, එවැනි සොරුන් අත්අඩංගුවට ගැනීම සඳහා මහජනතාව බහුලව ගැවසෙන ස්ථානයන් හි නිල ඇදුමෙන් මෙන්ම සිවිල් ඇදුමෙන් ද සැරසුනු පොලිස් නිලධාරීන් යොදවන බවයි.

තවද, මිනිස් සිරුරට අහිතකර ආහාර පාන අලෙවි කරන්නන්, ව්‍යාජ කිරුම් මිණුම් උපකරණ භාවිත කරන්නන් හා බීමත්ව රිය පදවන රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ වැඩපිළිවෙලක් ද පොලිසිය විසින් දියත් කරනු ඇත.

මේ අතර උත්සව සමයේ දී ආහාර පාන, ඇදුම් පැලදුම්, විදුල උපකරණ මිලදී ගැනීමේ දී පාරිභෝගික ජනතාව දැනුවත් කිරීම සඳහා දීපව්‍යාප්ත විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි පාරිභෝගික අධිකාරිය පවසයි.

කොළඹ කොටුව බස් නැවතුම්පළ කේන්ද්‍ර කර ගනිමින් එය පසුගිය 8 වැනි දින ඇරඹිණි. එසේම මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සියලු ජනාකීර්ණ ස්ථානවල දී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Share this: