පොලිස් මූලස්ථානය තුළදී විදුලි සෝපාන කි‍්‍රයාකරු ලෙස රාජකාරි කළ පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහයකයකුට සාපරාධී බලහත්කාරකම් පෑම හා සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත්කළ මේ වනවිට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (01) නියෝග කළේය.
සැකකරු චේතනාන්විතව එම අපරාධය කළේද යන ගැටලූව අධිකරණය හමුවේ පවතින බවත් විත්තිය කරනා ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කිරීමට තරම් කරුණු පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නොමැති බවත් පෙන්වා දුන් මහෙස්ත‍්‍රාත්වරයා සැකකරු පැමිණිල්ලේ සාක්‍ෂිිකරුවන්ට හෝ විමර්ශනවලට කිසිදු බලපෑමක් සිදු කර ඇති බවට කරුණුු ඉදිරිපත් වී නොමැති බැවින් එම ඇප නියෝගය නිකුත් කරනා බව පැවසීය.
අධිකරණයේ නියෝගය පරිදි සැකකාර පොලිස්පතිවරයාගෙන් ප‍්‍රකාශ ලබාගැනීමේදී එකී සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ පටිගත වී තිබූ සී. සී.ටී.වී. දර්ශන ඔහුට පෙන්වීමට පියවර ගත් බවත් එදින එවැනි සිදුවීමක් සිදුවූ බව පිළිගත් සැකකරු එකී අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් සිය කනගාටුව ප‍්‍රකාශ කරමින් ප‍්‍රකාශ ලබාදුන් බවත් විමර්ශන සිදුකරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියා සිටියේය. ඒ සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශන මේ වනවිට බොහෝ දුරට අවසන්වී ඇති බව පෙන්වා දුන් විමර්ශන නිලධාරීහු සැකකාර පොලිස්පතිවරයා ඊයේ (01) ප‍්‍රකාශ ලබාදීමට පැමිණි පසු ප‍්‍රකාශ සටහන් කර චෝදනා කියවා දී අත්අඩංගුවට ගත් බව පැවසූහ.
එකී අවාසනාවන්ත සිද්ධිය සිදුවී ඇත්තේ 2017.4.11 වැනිදා බවත් ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිලිකර ඇත්තේ 2019.6.2 වැනිදා බවත් පෙන්වා දුන් සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. කුමන අයුරකින් හෝ යම් රජයේ නිලධාරියකුගේ රාජකාරියට බලපෑම් කිරීම ඉතාම වැරදි සහගත වුවත් සැකකරු වැනි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු එම ආකාරයෙන් පහළ තනතුරක් දැරූ අයකුට බලපෑම් කරනා විට අනෙක් නිලධාරීන්ට එවැනි චෝදනා එල්ල වූ විට ඔහු කටයුතු කරනුයේ කෙලෙස දැයි විත්තියේ නීතිඥවරයාගෙන් විමසා සිටියේය.
සිද්ධිය වී වසර 2 1/2කට පසුව එවැනි පැමිණිල්ලක් ලැබීමට හේතුව කුමක්දැයි මහෙස්ත‍්‍රාත්වරයා එහිදී විමර්ශන නිලධාරීන්ගෙන් විමසා සිටි අතර පොලිස්පති ධුරයේ කටයුතු කළ එවැනි ජ්‍යෙෂ්ඨතම නිලධාරියකුට එරෙහිව පැමිණිල්ලක් කිරීමට මැලිවීම නිසා ඒ. එම්. සමරකෝන් බණ්ඩා නමැති සෝපාන කි‍්‍රයාකරු විශ‍්‍රාම යෑමෙන් අනතුරුව එම පැමිණිල්ල කර ඇතැයි පෙන්වා දුන්නේය. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර ලබන වසරේ ජනවාරි 8 වැනිදා විමර්ශනවල ප‍්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසට විමර්ශන නිලධාරීන්ට නියෝග කළ මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා එදින එම නඩුව යළි කැඳවීමට නියෝග කළේය.
ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා පොලිස් අධිකාරි නුවන් අසංක මහතා සමඟ පැමිණිල්ල මෙහෙය වූ අතර නීතිඥ නදීශ නානායක්කාර, එල්. නෙල්සන්, චානක මානවඩු ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා විත්තිය නියෝජනය කළේය.