පාස්කු ප‍්‍රහාරය යටපත් කිරීමට සැරසෙනවා අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කළහ

පාස්කු ප‍්‍රහාරය යටපත් කිරීමට සැරසෙනවා අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කළහ

රටේ ජනතාවට මැතිවරණයක් පිළිබඳව අවධානය යොමු කරවා පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ ප‍්‍රහාරය යටපත් කිරීමට සූදානම් වන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා කොළඹ අගරදගුරු මැදුරේ ඊයේ (31 වැනිදා* පැවැත්වූ මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කළහ.

පාස්කු ඉරිදා සිද්ධිය පිළිබඳව පත්කළ කොමිෂන් සභාව ස්වාධීන යැයි හඳුන්වනු ලැබුවත් එහි අපක්‍ෂපාතිකමක් පෙනෙන්න නැතැයිද උන්වහන්සේ සඳහන් කළහ.

එහිදී කාදිනල්තුමා මෙසේද සඳහන් කළහ.
මුළු රටම කම්පනයට පත්කළ, රටේ ආර්ථිකය අගාධයට ඇද දැමූ පාස්කු ඉරිදා කුරිරු ත‍්‍රස්ත ප‍්‍රහාරය සිදුවී දැන් මාස තුනකටත් වැඩියි. අම්මා නැති දරුවන්, තාත්තා නැති දරුවන්, දරුවන් අහිමි දෙමාපියන්, මුළු පවුලම අහිමි වූ ඥාතීන්ගේ තොරක් නැති දුක්ඛිත කඳුළු කතාවලට සවන් දෙමින්, හැකි අයුරින් ඔවුන්ව සනසන්නට වෙහෙසෙමින් මා සිටිනවා. ඔවුන් බොහෝ දෙනෙක් කඳුළු සලමින් මට කියා සිටින්නේ ‘අනේ අපට වන්දි එපා, සල්ලි එපා, යුක්තිය ඉෂ්ට කරන්න. මේ සිදුවෙච්ච දේ ගැන සම්පූර්ණ සත්‍යය අපට හෙළි කරන්න’ කියාය.

මේ කුරිරු ත‍්‍රස්ත ප‍්‍රහාරය පිටුපස සිටින අය, එය කුමන්ත‍්‍රණ කළ අය, සංවිධානය කළ අය, ඊට අනුග‍්‍රහය දැක්වූ අය, කල්තියා ලැබුණු බුද්ධි තොරතුරු හිතාමතා නොසලකා හැරි අය, සැකකරුවන් ලෙස අත්අඩංගුවට පත් වූවත් පුළුල් වගවිභාගයකින් තොරව නිදහස් කරනු ලැබූ අය, කිසිදු දඬුවමක් නොලබා තවම නිදැල්ලේ සැරිසරන බව පැහැදිලිය. එබැවින් මේ මහා ඛේදනීය ප‍්‍රහාරය සිදුවීමට පෙරත්, එම ප‍්‍රහාරය සිදුවූ පසුත් මේ පිළිබඳව තවම යුක්තිය ඉටුවී නැති බවත්, සත්‍යය වසං කරන්නට බොහෝ ප‍්‍රයෝග යොදමින් සිටින බවත් පෙනේ.

මෙහිදී අවධාරණයෙන් කිවයුතු වන්නේ ආණ්ඩු පක්‍ෂය අතින් පමණක් නොව, විරුද්ධ පක්‍ෂය අතින් ද අනෙකුත් පක්‍ෂවලින් ද මේ සම්බන්ධයෙන් සිය වගකීම් ඉටු නොවුණු බවයි. මෙවැනි අවස්ථාවක අපි විරුද්ධ පක්‍ෂයෙන් සහ ආණ්ඩු පක්‍ෂයෙන් බලාපොරොත්තු වන්නේ තම තමන්ට ලකුණු දමා ගැනීම සඳහා මෙම සිද්ධිය භාවිතා කිරීම නොව, සියලූම පක්‍ෂවල නායකයන් එක සහෝදර පිරිසක් ලෙස ජනාධිපතිතුමාද අගමැතිතුමාද විරුද්ධ පක්‍ෂ නායකතුමාද එකට එකතුවී මෙම සිද්ධියට අදාළ පසුතලය විමර්ශනය කිරීම සඳහා සුදුසු කි‍්‍රයාමාර්ග ගැනීමට එක්සත්ව කි‍්‍රයා කිරීමයි. එහෙත් විරුද්ධ පක්‍ෂයෙන් එවැනි ශක්තිමත් බලපෑමක් සිදු නොවූ බවද අපට පැහැදිලි වේ. පක්‍ෂ, පාට වශයෙන් බෙදී සත්‍යය යටපත් කරන්නට උත්සාහ කරනවා විනා මෙතෙක් පත් කළ කොමිෂන් සභා හෝ කමිටු ඉදිරිපත් කළා යැයි කියන කිසිදු වාර්තාවක් ජනතාව අතට පත්වී නැත. එබැවින් අපි‍්‍රයෙල් 21 වැනිදා සිදුවූ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව අපක්‍ෂපාතී

පුද්ගලයන්ගෙන් සැදුම්ලත් කොමිසමක් පිහිටුවා නිසි පරීක්‍ෂණයක් පවත්වා අදාළ පුද්ගලයන් නීතිය අභිමුවට ගෙන ඒමවත්, ඔවුන්ට නිසි දඬුවම් දීමක්වත් මේ වනතුරු සිදුවී නැත. ‘ස්වාධීන කොමිෂන් සභා’ යැයි හැඳින්වූ කොමිෂන් සභාවල කිසිදු ස්වාධීන බවක් හෝ අපක්‍ෂපාතී බවක් හෝ විනිවිද පෙනෙන බවක් හෝ තිබුණේ නැත. එබැවින් එවැනි ආකාරයට නොව නිවැරදි හා කාටත් පිළිගත හැකි ආකාරයට අපක්‍ෂපාතී පුද්ගලයන්ගෙන් යුත්, විනිවිදභාවයෙන් යුත් කොමිෂන් සභාවක් පත්කර මෙම ප‍්‍රහාර පිළිබඳ සම්පූර්ණ සත්‍යය ජනතාවට හෙළි කරන ලෙස මම ඉතාමත් ඕනෑ කමින් ඉල්ලා සිටිනවා.
එබැවින් ඡුන්දයක් පැවැත්වීමක් ගැන කතා කරන්නට පෙර මෙම මහා විනාශය පිළිබඳව සැබෑ විමර්ශනයක් සඳහා සියලූ බලතල සහිතව අදාළ ස්වාධීන කොමිෂන් සභාව පත් කිරීම අත්‍යවශ්‍ය මෙන්ම කඩිනමින් සිදුවිය යුතු කාරණයක්ද වේ. අප රටේ ආණ්ඩු පක්‍ෂයෙන්, විපක්‍ෂයෙන් හා අනෙකුත් පක්‍ෂවලින් මම ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටින්නේ අප ආදරණීය ජනතාවද අප රටේ ජාතීන් අතර පැවති ශුද්ධ වූ සමගියද සංචාරක ව්‍යාපාරය හා පොදුවේ රටේ සමස්ත ආර්ථිකයද බිඳ දමමින් දරුණු පීඩාවකට අප දේශය ඇද දැමූ මෙම සිද්ධිය, අප රට කලින් පාලනය කළ රජයන් ද කළාක් මෙන් රතු පලස යට සඟවා දමන්නට කටයුතු නොකරන ලෙසයි. පීඩිත සියලූ දෙනාට යුක්තිය, සාධාරණය ඉෂ්ට කරමින් අප රටේ ජනතාව මාස තුනක් තිස්සේ සිදුවේ යැයි බලාපොරොත්තුවෙන් සිටින මෙම බෝම්බ ප‍්‍රහාරය සිද්ධිය පිටුපස ඇති ජනතාවට හෙළි නොකරන සත්‍යය කුමක්ද කියාත් මෙම සත්‍යය හෙළි කිරීමට එරෙහිව බලපෑම් කරන අදිසි බලවේග කවරේද කියාත් ජනතාවට හෙළි කරන්නැයි මම උදක්ම ඉල්ලා සිටිනවා.
මෙම ඉල්ලීම ඉටුනොකර එළඹෙන ජනාධිපතිවරණයේදී ආණ්ඩු පක්‍ෂයෙන් හෝ විරුද්ධ පක්‍ෂයෙන් හෝ වෙනත් පක්‍ෂයකින් ඉදිරිපත් වන හෝ එම පක්‍ෂ වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති අපේක්‍ෂකයන් මා මුණනොගැසෙන බව සඳහන් කර සිටිනවා. අප ආදරණීය ජනතාව තාවකාලික ලාභ ප‍්‍රයෝජන ගැන නොසිතා යුක්තිය වෙනුවෙන් ද අප රටේ සැබෑ උන්නතිය වෙනුවෙන්ද තීරණ ගනු ඇතැයි මම විශ්වාස කරමි. මා සඳහන් කළ යුතු තවත් දෙයක් වන්නේ මම කිසිදු දේශපාලන පක්‍ෂයකට අයත් නොවන බවත් අසරණ අහිංසක ජනතාවට සිදුවිය යුතු යුක්තිය සාධාරණය උදෙසාත් ජනතා පරමාධිපත්‍ය උදෙසාත් පෙනී සිටීමට කැපවන බවයි. ඇතැම් උදවිය මා සමහර පක්‍ෂ සමග සම්බන්ධ කරන්නට මට ලේබල් අලවන්නට පුවත්පත් හා මාධ්‍ය යොදවා ගැනීම මම පිළිකුල් සහගත ලෙස හෙළා දකිනවා.

Share this: