ප්‍රාදේශීය මාධ්‍යවේදියාට මැර ප්‍රහාරයක්

ප්‍රාදේශීය මාධ්‍යවේදියාට මැර ප්‍රහාරයක්

ඊයේ දහවල්, රජයේ ඉඩමක අනවසරයෙන් කම්බි ගසා කොටු කර අලෙවි කිරීමට සුදානම් වීමේ ජාවාරමක් අනාවරණය කිරීමට ගිය පුත්තලම ප්‍රාදේශීය මාධ්‍යවේදී හිරාන් පියංකර ජයසිංහ මහතාට කිසියම් පුද්ගලයෙකු විසින් පහර දී තුවාල සිදු කර තිබේ.

පුත්තලම – පාලාවිය ප්‍ර‍දේශයේදී මෙම පහර දීම සිදුවී ඇති අතර, පහර කෑමට ලක්වූ හිරාන් පිංයකර මහතා මේ ව විට පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් පුත්තලම – පාලාවිය, වීරකොබ්බෑකඩුව විහාරස්ථානයට සමීපයේ පිහිටි ඉඩමක් නීති විරෝධී ලෙස කොටු කර අලෙවි කිරීමට සුදානම් වන බවට වූ තොරතුරක් පහර කෑමට ලක්වූ මාධ්‍යවේදියාට ලැබී ඇති අතර, සිද්ධිය වාර්තා කිරීම සඳහා එම ස්ථානයට ගිය අවස්ථාවේදී මෙම පහර දීම සිදුවී ඇත.

තවද, මෙම ඉඩම් ජාවාරම සම්බන්ධයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් පුත්තලම පොලීසිය හමුවේ පැමිණිලි කීපයක්ම මීට පෙර සිදු කර තිබුණු අතර, මෙම ඉඩම් ජාවාරම සම්බන්ධයෙන් පුත්තලම අධිකරණයේ කීප දෙනෙකුට එරෙහි පැමිණිලි විභාග වන බවද පැවසේ.

තමන් විසින් ප්‍රවෘත්තිය අවරණය කරමින සිටින විට එහි පැමිණි අය තමන්ට පහර දී බිම දිගේ ඇදගෙන ගිය බවත්, ඔවුන් තමන් ගෙළ පැළඳ සිටි රන් දම්වැල කඩා ගෙන ගොස් ඇති නමුත් අපහසුවෙන් කැමරා ආම්පන්න බේරා ගත් බවද පියංකර ජයසිංහ මහතා පැවසීය.

මාධ්‍යවේදීන්ගේ සමුපාකාර සමි‍තියේ සභාපති කාංචන කුමාර ආරියදාස මහතා පැවසුවේ, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත්, එසේ නොවන්නේ නම් මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

Share this: