ප්‍රජාතන්ත්‍රවාදය කරා යන ගමනට අමෙරිකාවේ පූර්ණ සහය

ප්‍රජාතන්ත්‍රවාදය කරා යන ගමනට අමෙරිකාවේ පූර්ණ සහය

දිවයිනට පැමිණි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවී තිබේ.

අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී මෙම හමුව සිදුවුණි.

මෙහිදි බිස්වාල් මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර ද්වීපාර්ශවික සාකච්ඡා සිදුව ඇත.

ඉන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් බිස්වාල් මහත්මිය සඳහන් කළේ යහපාලනය තුළින් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය කරා යන ගමනට අමෙරිකාවේ පූර්ණ සහය හිමි වන බවයි.

ඉදිරියටත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඇය පවසා ඇත.

එමෙන්ම මෙම සංචාරය තුළ දී තමන් ඇතුළු දූත පිරිස මෙරට සිවිල් සංවිධාන සහ රජයේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද බිස්වාල් මහත්මිය මෙහිදි සඳහන් කර ඇති බව සඳහන්ය.

මේ අතර සාම්පූර්හි නැවත පදිංචි කිරීම හා එම පවුල්වල සාමාජිකයින්ට අධ්‍යාපන අවස්ථා ලබාදීම සඳහා ඩොලර් මිලියනයක ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බව ද අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහාකර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය සඳහන් කළාය.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේ බිස්වාල් මහත්මියගේ මෙම සංචාරය හරහා අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් වු බවයි.

එමෙන්ම අමෙරිකාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන රටක් ලෙස පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ද මංගල සමරවීර අමාත්‍යවරයා මෙහිදි පවසා ඇත.

නිල සංචාරයක් සඳහා අමෙරිකාවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය අද අලුයම දිවයිනට පැමිණියාය.

දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඇය සහභාගී වු ප්‍රථම රාජතාන්ත්‍රික හමුව මෙය වන අතර දිවයිනේ රැඳී සිටින කාලය තුළ බිස්වාල් මහත්මිය ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මුණගැසීමට ද සැලසුම් කර ඇත.

Share this: