පළමුවරට ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

පළමුවරට ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දහවල් 12.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්ථාපිත පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවේ පළමු රැස්වීම අද පැවැත්වීමට නියමිතව තිබේ.

දැනට තේරීපත්වී ඇති සාමාජිකයින් රැස්වීමට නියමිත අතර, ව්‍යවස්ථාදායක සභාව සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සාමාජිකයින් 07 දෙනෙකු සහ සිවිල් සාමාජිකයින් තිදෙනෙකු ඇතුළත් වෙයි.

ඒ අනුව කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා නිල බලයෙන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් වන අතර ජනාධිපතිවරයාගේ නියෝජිතයා වශයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පත්කර ඇත.

අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා වශයෙන් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත්කර ඇති අතර විපක්ෂයේ අනෙක් සුළු පක්ෂ වල නියෝජිතයා වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ව්‍යවස්ථාදායක සභාව සඳහා මේ වනවිටත් පත්වී සිටින අතර, වස්ථාදායක සභාව සඳහා විපක්ෂ නායකවරයාගේ නියෝජිතයෙකු පත්කිරීම මෙතෙක් සිදුවී නොමැත.

ඒ අනුව අද පෙරවරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව ඒ පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණෙනු ඇති අතර, ව්‍යවස්ථාදායක සභාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සාමාජිකයින් රැස්වී ඒ සඳහා පත්කරනු ලබන සිවිල් සාමාජිකයින් පිළිබඳව තීරණය කිරීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Share this: