තවදුරටත් ක්‍රීඩාවේ නිවැරදි කළ යුතු තැන් කිහිපයක් ඇති බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක,වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පෙන්වා දෙයි.
අද උදෑසන(20)ජාතික රූපවාහිනියේ පැවැති වැඩසටහනකට එක්වෙමින් අර්ජුන රණතුංග අමාත්‍යවරයා කියා සිටියේ අදත් ක්‍රීඩාව යන්නේ යහපාලනයටදැයි කියා තමන් කලකිරීමෙන් සිටින බවයි.
එහිදී ඇමතිවරයා මෙසේ ද පැවසීය.
“පසුගිය කාලේ අපේ ක්‍රීඩාව හුඟක් දුරට විනාශ වුණා. රට වටේම ක්‍රීඩාංගණ හැදුවා. ඒවායේ දී හොරකම් හුඟක් වුණා. නමුත් ක්‍රීඩකයෝ හැදුවේ නෑ. අද වුණත් මම ඇත්තටම කළ කිරෙනවා, අදත් ක්‍රීඩාව යන්නේ යහපාලනය පැත්තටදැයි කියලා. උදාහරණයකට ක්‍රිකට් පාලක මණ්ඩලය ගනිමු. දැන් ක්‍රිකට් පාලක මණ්ඩලයට අතුරු පාලක කමිටුවක් පත් කරලා තියෙනවා. අතුරු පාලක මණ්ඩල හොඳයි. නමුත් ඒකට නිවැරදි පුද්ගලයින් දාන්න ඕන. දැන් ක්‍රිකට් ආයතනයේ මූල්‍යමයමය ප්‍රශ්න ගොඩාක් තියෙනවා කියලා ක්‍රීඩා ඇමැති චෝදනා කළා. ඒ නිසා තමයි අතුරු පාලක මණ්ඩලයක් පත් කළේ. මූල්‍ය චෝදනා තියෙනවනම් අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමේ වරදක් නැහැ. නමුත් පසුගිය කාලේ ක්‍රිකට් ආයතනයේ සිටි භාණ්ඩාගාරිකම අතුරු පාලක කමිටුවට පත් කරනවා. එය ලොකු වරදක්. මොකද හොරකම් වීමේදී භාණ්ඩාගාරිකත් වගකියන්න ඕන. ඒ අනුව අතුරු පාලක කමිටුවට හිටපු භාණ්ඩාගාරිකම පත් කරනවනම්, මම දකින්නේ එතැන වරදක් තියෙනවා. ඒ වගේම අතුරු පාලක කමිටුවක් පත් කිරීමෙන් අපට ලෝක ක්‍රිකට් කවුන්සිලයෙන් ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන්. අපි පසුගිය කාලේ කෑ ගැසුවා ක්‍රිකට් දේශපාලනීකරණය වෙලා කියලා. ඒ වගේම දැන් අතුරු පාලක කමිටුවක් පත් කිරීමෙන් අපටත් ඇඟිල්ලක් දික් වෙන්න පුළුවන් අපේ ආණ්ඩුවත් ක්‍රිකට් දේශපාලනීකරණය කළා කියලා. මම දන්නවා, ක්‍රිකට්වල මුදලාලි මාෆියාවක් තියෙනවා. මේ මාෆියාව ක්‍රිකට් නිලවරණයේදී ඡන්ද සල්ලිවලට ගන්න මාෆියාවක්. මේ නිසා ක්‍රිකට් ආයතනය සඳහා හොඳ කණ්ඩායමක් පත් කර ගන්න පුළවන් වෙයිද කියලා මගේ ප්‍රශ්නයක් තියෙනවා….”
ක්‍රීඩා අමාත්‍යවරයා විවිධ මාෆියාවලට හසු නොවිය යුතු බවත් ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව සමස්ත ක්‍රීඩාවට තමන් තවමත් ආදරේ බවත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කළේය.