පරිසරයත් වනසතුනුත් ආරක්ෂා කරගැනීම අපේ යුතුකමයි

පරිසරයත් වනසතුනුත් ආරක්ෂා කරගැනීම අපේ යුතුකමයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ, රට සංවර්ධනය කටයුතු සිදු කිරීමේ දී පරිසරය ද වනසතුන් ද ආරක්ෂා වන අයුරින් එම ව්‍යාපෘති දියත් කළ යුතු බවයි.

ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු ප්‍රගති විශ්ලේෂණ විශේෂ හමුවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළ අතර, ඉදිරි වසර පහේ දී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති සහ විශේෂ වැඩසටහන් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

මෙහිදී තවදුරටත්, අදහස් දැක්වූ ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ, දිස්ත්‍රික් සංවර්ධන ඉලක්කයන් ලගා කර ගැනීමේ දී වාරිමාර්ග හා කෘෂිකර්ම නිෂ්පාදනයන් ඉහළ නැංවීම, මහාමාර්ග සංවර්ධනය, අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ භෞතික හා මානව සම්පත් අවශ්‍යතා සම්පූර්ණ කිරීම මෙන්ම වෙනත් යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

තවද රටක් ලෙස අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයන්ගේ අවශ්‍යතා සැපරීමේ දී ග්‍රාමීය පළාත් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු අතර, ඉදිරි වසරක කාලයක් තුළ දිස්ත්‍රික්කයේ ගුරු හිගය ඇතුථ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත් අවශ්‍යතා සපුරාලීම සදහා විශේෂ වැඩපිළිවලක් සකස් කළ යුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මේ අතර විසල් පොළොන්නරුව නමින් ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇති නගර සැලසුම්කරණ ව්‍යාපෘතිය මගින් තෝරාගත් නගර කිහිපයක් දියුණු තාක්ෂණික නගරයන් බවට පත් කිරීමට ද මෙහිදී යෝජනා විය.

තවද මෙම අවස්ථාවට ජනතා නියෝජිතයින්ගේ පාර්ශවය නියෝජනය කරමින් පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ද නියෝජ්‍ය අමාත්‍යවරුන් වන වසන්ත සේනානායක, චන්ද්‍රසිරි සූරියාරච්චි යන මහත්වරුන් ඇතුළු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් ද සහභාගී වී සිටියහ.

රජයේ නිළධාරීන් නියෝජනය කරමින් ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් පිරිසක් ද පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු විවිධ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් පළාත් සහ දිස්ත්‍රික් ප්‍රධානීන් ඇතළු පිරිසක් ද සහභාගී වී සිටියහ.

Share this: