පනතක් මගින් රාජ්‍ය නිලධාරීන්ට ආරක්‍ෂාව සලසනවා -මුදල් ඇමැති ධුරයේ වැඩ භාර ගනිමින් අගමැති කියයි

පනතක් මගින් රාජ්‍ය නිලධාරීන්ට ආරක්‍ෂාව සලසනවා -මුදල් ඇමැති ධුරයේ වැඩ භාර ගනිමින් අගමැති කියයි

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (25 දා) මුදල් අමාත්‍යාංශයේදී මුදල් ආර්ථික හා ප‍්‍රතිපත්ති සංවර්ධන ඇමැති ධුරයේ වැඩ භාර ගත් අයුරු. ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරුද මෙහි වෙති.

රාජ්‍ය නිලධාරීන් තම රාජකාරී ඉටු කිරීමේදී සද්භාවයෙන් ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් පනතක් හරහා ඔවුන්ට ආරක්‍ෂාව සැලසීමට පියවර ගන්නා බව මුදල්, ආර්ථික කටයුතු හා බුද්ධශාසන ඇමැති සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (25 දා) උදේ මුදල් අමාත්‍යාංශයේදී වැඩ භාරගැනීමෙන් පසු අමාත්‍යාංශ නිලධාරීන් අමතමින් පැවසීය.

පසුගිය කාලයේදී රාජ්‍ය නිලධාරීන් එෆ්. සී. අයි. ඞී. එකට අරන් ගිය බවත් ඒ නිසා නිලධාරීන් තම රාජකාරී කටයුතු කිරීමේදී අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට බිය වූ බවත් මහින්ද රාජපක්‍ෂ මහතා කීය.

එෆ්. සී. අයි. ඞී. ය නිසා රාජ්‍ය නිලධාරීන් නිසි ලෙස තීන්දු තීරණ නොගැනීමෙන් රාජ්‍ය ක්‍ෂේත‍්‍රය අකර්මණ්‍ය වූ බව ද අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා කීවේය.

මුදල් අමාත්‍යාංශයේ රන්දොර ශ‍්‍රවණාගාරයේදී ඊයේ පෙරවරුවේ සුබ නැකතින් මුදල් ඇමැතිවරයා ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වැඩ භාරගත් අතර මේ අවස්ථාවට රජයේ මැති ඇමැතිවරු, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර සහ නව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරු ඇතුළු එම අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

සෑම අතකින්ම පසුබෑමට ලක්ව ඇති ආර්ථිකය නැවත පුනර්ජීවනය කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගෙන ඇති බවත් මහජනතාවට ලබාදුන් පොරොන්දු කිසිවිටෙකත් කඩ නොකරන බවත් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා කීවේය.

මහ බැංකු බැඳුම්කර වංචාව වසං කිරීමට ගත හැකි සියලූ ක‍්‍රියාමාර්ග පසුගිය රජය විසින් ගත් බව ද සඳහන් කළ අගමැතිවරයා රට ගොඩනැඟීමට අවශ්‍ය ප‍්‍රතිපත්ති ඉතා ඉක්මනින් ක‍්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද කීය.

Share this: