නීතිඥ මඬුල්ලේ ඉල්ලීම ඉවතට “රන්ජන්ට ඇප නෑ”

නීතිඥ මඬුල්ලේ ඉල්ලීම ඉවතට “රන්ජන්ට ඇප නෑ”

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ නිත්‍යනුකූලව නොවන අයුරින් බවත් ඒ අනුව ඔහු ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල සිදු කළ ඉල්ලීම නුගේගොඩ මහේස්ත්‍රාත් හර්ෂ පැල්පොල මහතා අද (17) ප්‍රතික්ෂේප කළේය.

කුමන අයුරකින් සිදු කළ වරදක් සම්බන්ධයෙන් වුවද වරෙන්තුවක් ලබා ගැනීමට මෙන්ම නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත් අධිකරණයට බලය ඇති බව කියමින් මහේස්ත්‍රාත්වරයා මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

රන්ජන් රාමනායක මහතාට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයක් මගින් වරෙන්තුවක් ලබා ගත නොහැකි බව දක්වමින් ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල මේ ඉල්ලීම සිදු කර තිබිණි.

මේ ඉල්ලීම ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඒ සම්බන්ධයෙන් සිය විරෝධතාව ප්‍රකාශ කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇප ඉල්ලීම සිදු කළ උගත් නීතිඥවරියට මේ ඉල්ලීම සිදු කිරිමට අයිතියක් නැති බවත් නින්දෙන් ඇහැරිලා වගේ සිදු කරන මේ ඉල්ලීම සිදු කිරිමට අයිතියක් නැති බවත් කියා සිටියේය.

මේ සිද්ධියට අදාළ විමර්ශන නිලධාරියා ඉකුත් 14දා ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතාගේ නිල නිවසේ දී දීර්ඝ සාක්ෂි ලබාදීමකින් අනතුරුව වරෙන්තුවක් ලබා ගත් බව කී දිලීප පීරිස් මහතා ඒ අනුව ඔහු අත්අඩංගුවට ගත් බවත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිදු කළ නියෝගය බල රහිත කිරීමට මහේස්ත්‍රාත්වරයාට නීතියේ ප්‍රතිපාදන නැති බවත් කියා සිටි අතර, අවශ්‍ය නම් වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් දැනුම් දුන්නේය.

එමෙන්ම විත්තිකරු රක්ෂිත බන්ධනාගාරගත කරන දිනයේ මේ මූලික විරෝධතාව දැන සිටියේ නැද්දැයි ප්‍රශ්න කළ දිලීප පීරිස් මහතා මේ ප්‍රඥාව පහළ වූයේ දින දෙකක් ගත වූ පසුව දැයි ප්‍රශ්න කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දණ්ඩනය කියන වගන්තිය තිබෙනවා. වරද නිශ්චයට ලක් වන්නේ මහාධිකරණයේ වුවද විමර්ශන ප්‍රගතිය මහේස්ත්‍රාත් අධිකරණයකට දක්වමින් කරුණු වාර්තා කළ හැකියි. මහාධිකරණය කියන්නේ නීතිපතිවරයාගේ අධිචෝදනා මත නඩු කෘත්‍යයක් පවත්වාගෙන යන ස්ථානයක්. එය නඩු පවරන ස්ථානයක් නොවන බවත් දිලීප පීරිස් මහතා තවදුරටත් කියා සිටියේය.

රන්ජන් රාමනායක මහතා ලබන 29දා තෙක් රක්ෂිත භාරයට පත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදිනට විමර්හන ප්‍රගතිය දැනුම් දෙන ලෙසට නියෝග කළේය.

රක්ෂිතභාරයේ සිටින රන්ජන් රාමනායක මහතා බන්ධනාගාරය විසින් අද අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

Share this: